brand logo

රනිල් ලෝක වාර්තාවක් අබිමුව

30 September 2020

රුවන්ගේ මාතර මුල් මංගලගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂේ මාතර සංවිධායක ලෙස රනිල් වික්‍රමසිංහ පත් කළේ මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්තව. උපුල් නිශාන්ත කියන්නේ මංගල සමරවීරගේත් ළඟම හිතවතෙක්. උපුල් පහුගිය දවසක රනිල් හම්බවෙලා මාතර එජාප කාර්යාලය විවෘත කරන්න එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. එතකොට රනිල් කියලා තියෙනවා ඉස්සරහාට තමන් දේශපාලනේ කරන්න බලාපොරොත්තුවක් නැති නිසා අලුත් නායකයෙක් පත් වෙනකං ඉන්න කියලා. ඔය අතරේ තමයි රුවන් විජේවර්ධන එජාප නියෝජ්‍ය නායක ලෙස පත් වුණේ. උපුල් නිශාන්ත ගිය සෙනසුරාදා බොරැල්ලේ වුඩ්ලන් මන්දිරේදී රුවන් විජේවර්ධන හමු වුණා. මාතර කාර්යාලය විවෘත කරන්න උපුල් කළ ආරාධනය පිළිගත් රුවන් ගිය 26 වැනිදා මාතර විලේගොඩ ගියා. මේ ගමනට රුවන් එක්ක ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, කස්තුරි අනුරාධ, ශාන්තිනී කෝන්ගහගේ වගේම සරත් කෝන්ගහගෙත් ගිහින් තිබුණා. සරත් කෝන්ගහගේ පහුගිය කාලේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. නමුත් දැන් සරත් කෝන්ගහගේ රුවන්ට සහාය දෙන්න ඇවිත්. මාතර පක්ෂ කාර්යාලෙට මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ සාමාජිකයන් 400ක් විතර රැස්වෙලා හිටියා. මෙතැනදී රුවන් විනාඩි 15ක විතර කෙටි කතාවක් කළා. රුවන් කියන්නේ මෙච්චර කලක් එජාපය ගම් මට්ටමේ දේශපාලනඥයන් එක්ක ලොකු සම්බන්ධතාවක් තියාගත්තේ නැති වීම පක්ෂයේ පරිහානියට හේතුවක් වුණා කියලා. ඒ වගේම මෙතැන සිට එජාපය සම්පූර්ණයෙන්ම ජනතාව අතරට ගෙනියන්න කටයුතු කරන්න ඕන කියලාත් කිව්වා. මෙතැනදී රුවන් තවත් අපූරු කතාවක් කිව්වා. ඒ තමයි මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි දෙන්නා ඉපදිලා තියෙන්නේ මාතරලු. ඒ වගේම පහුගිය ඡන්දෙදී ප්‍රතිශතයක් විදිහට ගත්තාම හම්බන්තොටට වඩා පොදුජන පෙරමුණට වැඩි ඡන්ද ප්‍රතිශතයයක් ලැබිලා තියෙන්නෙත් මාතරින්ලු. ඒ නිසා ගෝඨාභයට හා මහින්දට අභියෝග කරමින් තමන් එජාපය ජයග්‍රහණය සඳහා ගෙනියන ගමන මාතරින් ආරම්භ කරන බව රුවන් කියලා තියෙනවා. මහින්දට ගෝඨාභයට වගේම රුවන්ටත් මාතර මුල් තියෙනවා. කඹුරුපිටිය කියන්නේ උපාලි විජේවර්ධනගේ උපන් ගම. උපාලි විජේවර්ධන කියන්නේ රුවන්ගේ තාත්තා වන රන්ජිත් විජේවර්ධනගේ සහෝදරයෙක්. එහෙම ගත්තාම රාජපක්ෂලාට වගේම විජේවර්ධනලාටත් දකුණේ මුල් තියෙන නිසා රුවන් මාතරින්ම සටන පටන් ගත්තා කියලා තමයි මාතර මිනිස්සු කියන්නේ. සජිත්ගේ දිනන කමිටු රුවන් මාතරින් එජාපය ගොඩ ගන්න සැලසුම් හදනකොට සජිත ප්‍රේමදාස ‘දිනන කමිටු’ කියලා වැඩපිළිවෙළක් ආරම්භ කරලා. මේ මගින් කරන්න යන්නේ සමගි ජනබලවේගයට සාමාජිකයන් බඳවා ගැනීම. ගමින් ගමට ගිහින් මේ කමිටු හදන වැඩේ භාර දීලා තියෙන්නේ හරින් ප්‍රනාන්දුට. එක කමිටුවකට 30 බැගින් මුල් වටයේදී මුළු සාමාජික සංඛ්‍යාව දෙලක්ෂ අසූ දහසක් බඳවා ගැනීම තමයි සජිත්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ. මේ දිනන කමිටු සංකල්පය ඔස්සේ සාමාජික සංඛ්‍යාව වැඩි කරගැනීම තමයි සමගි ජන බලවේගේ දේශපාලන උපක්‍රමය වෙලා තියෙන්නේ. වියත් මගට නව බඳවා ගැනීම් පහුගිය වසරේ නොවැම්බර් පැවැති ජනාධිපති වරණයෙන් පස්සේ වියත්මගේ විධායක සභාව රැස් කරලා තිබුණේ නෑ. මාස 11 කට පස්සේ වියත් මග ඇතුල්කෝට්ටේ කාර්යලයේදී ගිය සතියෙ රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මෙතැනදී කාරණා දෙකක් සාකච්ඡා වුණා කියලා ආරංචියි. එකක් තමයි රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රතිපත්ති සම්පාදනයේදී හා අභියෝගත්මක අවස්ථාවලදී ඇමැතිවරුන්ට සහය දෙන්න ඕන කියන එක. වියත්මගට නව සාමාජිකයන් බඳවා ගැනීම අනෙක් කාරණේ. ඒ වගේම ඇමැතිවරුන්ට යම් යම් ප්‍රශ්නවලදී උපදෙස් දෙන්නත් මෙහිදී කතා වුණාලු. ජනාධිපතිවරයා පහුගියදා හල්දුම්මුල්ලෙන් පටන් ගත්තා ජනතාවගේ දුක් ගැනවිලි සොයන්න ගමින් ගමට යන්න. දැන් මේ වැඩපිළිවෙළ ගැන සමගි ජනබලවේගේ කණ්ඩායම අලුත් කතාවක් කියනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාස ගමින් ගමට යන්න පටන් ගත්ත නිසා ජනාධිපතිවරයාත් යන්න පටන් ගත්තා කියන එක. බැසිල්ගේ විශ්ලේෂණය ලබන 2 වැනිදාට පොදුජන පෙරමුණේ 4 වැනි සම්මේලනය යෙදිලා තියෙනවා. ඒ වන විට සාමාජික සංඛ්‍යාව ලක්ෂ 35ක් දක්වා වැඩි කරගන්න සැලසුමක් තිබ්බා. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා ඒක ලක්ෂ 40 දක්වා වැඩි කරගන්න පුළුවන් කියලා. බැසිල් මේ ගැන කියලා තියෙන්නේ සංවත්සරය ගැන කතා කරන්න කැඳවපු විශේෂ සාකච්ඡාවකදී. මෙතැන දී බැසිල් කියලා තියෙනවා 2015දී මහින්ද පරාජයට පත් වුණේ. පක්ෂය ගම් මට්ටමේ දේශපාලනෙන් ඈත් වුණ නිසා කියලා. ගමේ දේශපාලනේ කරන්න ඕන අයත් ඒක නොකර ආණ්ඩුව බදා ගෙන හිටිය නිසා පැරදුණා කියලා තමයි බැසිල් මෙතැනදී පෙන්නලා දීලා තියෙන්නේ. ඒ වගෙම ආණ්ඩුවේ ඉන්න අයට ආණ්ඩුව කරගන්න දීලා පොදු ජනපෙරමුණේ අපි ගමට බැහැලා දේශපාලනේ කරමු කියලා බැසිල් මෙහිදී යෝජනා කරලා තියෙනවා කියලාත් ආරංචියි. මෙතැනදී 20 ගැනත් බැසිල් අදහස් දක්වලා තියෙනවා. බැසිල් අහන්නේ ජේ. ආර්,අර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමරතුංග, ඩී.බී. විජේතුංග වගේ අයට ජනාධිපති තනතුරේ බලය භුක්ති වින්දා වගේම ගෝඨාභය රාජපක්ෂටත් බලය භුක්ති විඳින්න බැරි ඇයි කියලා. ඒ නිසා 20 වැනි සංශෝධනයේ කිසිම වැරැද්දක් තමන් දකින්නේ නෑ කියලාත් බැසිල් කිව්වා කියලා ආරංචියි. රනිල්ගේ වාර්තාව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වාර්තා පිට වාර්තා පිහිටුවූ දේශපාලනඥයෙක් විදිහටත් ප්‍රසිද්ධයි. රනිල් වික්‍රමසිංහ තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න යනවා කියලාත් අරංචියක් තියෙනවා. පහුගිය සතියේ රනිල් දේශපාලන පළිගැනීම් කමිටුවට ගියා. එතැනදී සමහර අවස්ථාවලදී මාධ්‍යවේදීන් ඉවත් කරන්න කියලා රනිල් යම් යම් කතා කියලා තිබුණා. අරලියගහ මන්දිරයේ හදලා තිබුණු දූෂණ විරෝධී කාර්යාලය සමහර වෙලාවට වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වුණා කියලාත් රනිල් එතැනදී කියලා තියෙනවාලු. රනිල්ගේ මේ කතා නිසා රනිල් රජයේ සක්කි කාරයෙක් කරගන්න කියලා දේශපාලන පළිගැනීමේ කමිටුවේ සභාපති කියලා තියෙනවා. ඉතින් ලෝක ඉතිහාසයේ හිටපු අගමැතිවරයෙක් රජයේ සාක්කිකාරයෛක් වෙන්න යන පළවැනි අවස්ථාව තමයි මේක. ඒ වාර්තාව තියන්න යන්නේ අපේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ. එස්.බී. ට මල පැනලා පහුගිය 22 වැනිදා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම රැස් වුණා. රැස්වීමේ ඉදිරියෙන්ම හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන වාඩිවෙලා හිටියා. සිරිසේන මහත්තයා කිසිම කතාවක් බහක් නැතිව බුම්මාගෙන ඉඳලා අතරමගදී නැගිටිලා ගියා කියලා තමයි ආරංචි. පාර්ලිමේන්තු ලොබියේ ආණ්ඩු පක්ෂේ මැති ඇමැතිවරු කීප දෙනෙක් හමුවෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඉන්න අතරේ 20 ගැන කතාව ඇදිලා ඇවිත් 20 කෙටුම්පත මේ විදිහට වැරදියට හදලා ඇත්තේ එකත් එකටම ජී.එල්. පීරිස් තමයි කියලා මෙතැනදී පිරිස කතා වෙලා. මේ කතාබහ අතරේ එස්.බී. දිසානායකට කෝල් එකක් ඇවිත්. කතා කරලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති, කැබිනට් ඇමැති පත් කළාට පස්සේ සාමුහික ඡායාරූපයක් ගත්තා වගේ සම්බන්ධීකරණ කමිටු සභා පතිවරුන්ගේත් ඡායාරූපයක් ගන්න එන්න කියලා තමයි මේ කෝල් එක ඇවිත් තියෙන්නේ. එස්.බී. ට වැඩේට දිනයත් වෙලාවත් කියලා. මේ සංවාදය අවසන් වෙනතුරු සවන් දීගෙන හිටිය අනිත් මැති ඇමැතිවරු ඔක්කොම පස්සේ එස්.බී. ව අල්ලගෙන වදේ ගහලා. ‘‘යකෝ කොයි කාලෙද සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමුහ ඡායාරූපවලට හිටියේ’’ අරක මේක කියලා. අන්තිමට ඉවසාගන්න බැරි තැන එස්.බී. එතැනින් ගියේ වටේට හිටිය මැති ඇමැතිවරුන්ට සුද්ද සිංහලෙන් අමතලා කියලාත් ආරංචියි. රස්සා 600ක් මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුව රැකියා ලක්ෂේ වැඩපිළිවෙළ හැදුවේ දේශපාලන අරමුණකින් තොරව වැඩ කරන්න. නමුත් දැන් ඒ තත්ත්වේ වෙනස් වෙලාලු. ආණ්ඩු පක්ෂේ මන්ත්‍රී කණ්ඩායම ඒ ගැන සාකච්ඡා කර කර ඉන්නකොට බැසිල් රාජපක්ෂ යෝජනා කළාලු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එක්කෙනෙකුට ඒ ලක්ෂයෙන් 600 ගානේ දෙන්න. ඒකට හේතු වෙලා තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ දුක්ගැනවිල්ලක්. මන්ත්‍රීවරු පිරිසක් කියලා තියෙනවා ලු මේ රස්සා තමන්ගේ පාක්ෂිකයන්ට දෙන්න බැරි වුණොත් ‘‘අපිට ගමට යන්න බෑ. අපිට මිනිස්සුන්ගේන ගුටි කන්නත් වෙයි’’ කියලා. ඒ නිසාලු බැසිල් 600 ගාණේ මන්ත්‍රීවරුන්ට දෙන්න කියලා. යෝජනා කරලා තියෙන්නේ. කොටු පනින ඇමැතිලාට පණිවුඩයක් පොදුජන පෙරමුණේ සමහර දිස්ත්‍රික්කවල පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සංවිධායකවරු දැනුවත් කරන්නේ නැතුව සමහර ඇමැතිවරු ගිහින් ජනතාවට රස්සා දෙන්න ෆෝම් බෙදනවාලු. ගාල්ලේ සංවිධායක චන්දිම වීරක්කොඩි හා බදුල්ලේ සංවිධායක චාමර සම්පත් දසනායක පහුගියදා ඒ ගැන සිය විරෝධය දැක්වූවා. චන්දිමයි චාමරයි කියන්නේ ඒ විදිහට ආසනවලට ඇවිත් සංවර්ධන ව්‍යාපෘති කරන්න හා රස්සා දෙන්න හදන ඇමැතිවරුන්ට කියන්න කියලා එහෙම එනවා නං සංවිධායකවරු හරහා එන්න කියලා. ඒ කියන්නේ බදුල්ලේ හා ගාල්ලේ තමයි දැනට මේක වෙලා තියෙන්නේ. නාමල් නැත්නම් ජීවන්ද? 20 ගැන සාකච්ඡා කරන්න අගමැතිගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් කැඳවලා තිබුණා. 20 හදපු කෙනා ගැනත් නිශ්චිතතාවක් නොතිබුණු ඒ වෙලාවේ කිසියම් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සාකච්ඡාවේ මූලාසනයේ වාඩි වුණා. ජනාධිපතිතුමා ඇහුවා මන්ත්‍රීවරුන්ට තියෙන ප්‍රශ්න ගැන. එතැනදී ගෙවිඳු කුමාරතුංග නැගිටලා ප්‍රශ්නයක් ඇහැව්වා ‘‘ජනාධිපති අපේක්ෂයෙක් වෙන්න තිබුණු වයස් සීමාව අවුරුදු 35 ඉඳලා 30 දක්වා අඩු කළේ ඇයි? කියලා. එතකොට ජනාධිපතිවරයා හිනාවෙලා උත්තර දුන්නාලු ‘‘නාමල්ට වයස 35 යි. ඒක ඉලක්ක කරගෙන නෙවෙයි කළේ’’ කියලා. එතකොට පිටිපස්සේ පේළියෙන් ඇහුණාලු ‘‘එහෙනං ජීවන් තොණ්ඩමන් ඉලක්ක කරගෙනද ඒක කළේ’’ කියලා. ඔක්කොටම හිනා ගියාලු. ජනාධිපතිතුමාත් හිනා වුණාලු. •සමන් සමරක්කොඩි
 

More News..