රනිල් දෙසූ ත්‍රෛලෝක්‍ය විජයපත්‍ර ජාතකේ
21 November 2022
රනිල් දෙසූ ත්‍රෛලෝක්‍ය විජයපත්‍ර ජාතකේ
21 November 2022
තණමල්විල ඉඩම් මිල කොළොඹ හතේ ඉඩම් මිල ඉක්මවයි ?
ජනාධිපතිවරයාට අයවැය කතාව අවසන් කිරීමටවත් ඉඩක් ලැබුණේ නැත. මගේ දුරකථනයට එක දිගට විවිධාකාර හිත මිත්‍රාදින්ගෙන් ඇමතුම් ගලාගෙන ආවේය. මේ දිනවල මා කොළොඹින් බැහැරව හම්බන්තොට පැත්තේ වෙසෙන බව ඔවුහු දනිති. එසේම ජනපතිවරයා මැති සබයේ කිය වූ අයවැය කතාව බඳු ඒවා මවිසින් සකස් නොකරන බවද ඔවුහු දනිති. කෙසේ නමුදු මට කතා කළ මිතුරෝ මේ දිනවල මා සිටින තණමල්විල ආදී පැතිවලින් හැකි ඉක්මණින් ඉඩම් සොයා ඒවා මිලට ගැනීමට උදව් කරන්නැයි ඉල්ලූහ. මේ යක්කුන්ට අමු කැවිලා මොළේ කොලොප්පම් වෙලා වත්දැයි මට සිතුණි. එහෙත් කාරණාව පැහැදිලි වූයේ විනෝදෙට වගේ ජනාධිපතිගේ අයවැය කතාවට සම්පූර්ණයෙන් ඇහුන්කන් දීමෙන් පසුවය. මගේ මිතුරන් කොළේ වහලා කතා කර ඇති වග මා දැන ගත්තේ ජනපතිඳුගේ අයවැය කතාවට පිං සිදු වෙන්නටය. ඔන්න ඉතිං2023 අයවැයෙන් මටද සහනයක් ලැබිණ. ජනාධිපතිවරයා තම අයවැය කතාවේදී ත්‍රෛලෝක විජය පත්‍ර වගාකර අපනයනය කිරීමට තිබෙන ඉඩකඩ සොයා බලනු වස් විශේෂ කමිටුවක් පත්කරන වග ප්‍රකාශ කළේය. ඒත් කොතැනකදීවත් නිකමටවත් ගංජා හෝ කංසා යන වචනය පාවිච්චි නොකිරීමට තරම් ජනාධිපතිවරයා පරිස්සම් වූයේය. මෙය ගංජා ගසා කියවූ අයවැයක් යැයි විරුද්ධ දේශපාලනඥයන් කට කැඩිච්ච කතා කීවත් ජනාධිපතිවරයා හොඳ සිහියෙන් කියවූ බවට ඒකම හොඳ සාක්ෂියකි. ඒ කොහොම වුණත් මා උන්නද මළාදවත් බැලීමට නිකමටවත් දුරකථන ඇමතුමක් නොගන්න මිතුරන් එක දිගට මට ඇමතුම් ගැනීමේ අරුමය පැහැදිලි වූයේ මේ අයවැය කතාවෙනි.පාර්ලිමේන්තුවේ ඉන්න කටකාර කතා කියන ඩයනා නෝනා මැතිසබයට ගියත් හරි, කතා කළේ ගංජා ගැනය. ජනපතිවරයා ඇගේ කතාවට සාධාරණයක් කරතිබෙන බව පෙනේ! ඒ කෙසේ වෙතත් ඔහුගේ කතාවෙන් තණමල්විල ඉඩම් මිලත් කොළොඹ හතේ ඉඩම් මිල ඉක්මවන දිනය වැඩි ඈතක නොවේ. සමහර විට ජනාධිපතිවරයා කොළොඹ ධනකුවේරයන්ගේ සල්ලි ගමට පොම්ප කරන්නට ගංජ ගැටයක් ගැසුවාදෝ යන සැකය ඔහු ගැන දන්න අය තුළ දැනටමත් ඇතී වී තිබෙනවාට සැකයක් නැත.
එවැනි ගැට කැපීමටත් ගැසීමටත් ඔහු හපනෙකි. ජේ.ආර් ජයවර්ධන ජනාධිපති මාමා ළඟ මැකියාවෙලීගේ සහ කෞටිල්‍යගේ දේශපාලන පොත් කිය වූ ජනාධිපති රනිල් බෑනාට ඕවත් ගැටද? රනිල් පාර්ලිමේන්තුවේදී ත්‍රෛලෝක විජයපත්‍ර නිල වශයෙන් පිළිගන්නට යෝජනා කරන්නට කලකට පෙර පාර්ලිමේන්තුව ඇතුළේ ගංජා වවා තිබියදී අහු වුණේය. පාර්ලිමේන්තුවේ ඉහළ මාලයේ වගාකර තිබූ මල් ගස් අස්සේ ගංජා පැළ වගාකර තිබෙන බව කවුරුවත් දැන සිටියේ නැත. ඊට හේතුව එහි පැමිණි කිසිවකු ගංජා කොළ නොහඳුනන නිසාය. මේ අතරේ පාර්ලිමේන්තුව පරීක්ෂා කිරීමට විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් ආවෝය. ජනපති ඇතුළු අති විශේෂ ප්‍රභූවරු හෝ ප්‍රධාන උත්සව පැවැත්වෙන විට එවැනි විශේෂ පරීක්ෂාවක් පාර්ලිමේන්තුවේ කරන්නේය. විශේෂ කාර්ය බළකා සෙබළු ඕනෑතරම් ගංජා හේන් වටලන්නට ගොස් ඇත්තේය. එබැවින් ඔවුහු එකවරම මල් ගස් අස්සේ වවා තිබූ ගංජා පැළ හඳුනා ගත්හ. ඒ ගැන සොයා බැලීමේදී හෙළිවූයේ පාර්ලිමේන්තු සේවකයකු මේ ගංජා පැළවල අයිතිකාරයා බවය. ඔහු ඉහළ මාලයේ ගංජා පැළ කර තිබුණේ ආරක්ෂක අංශවලට ඒ බිමේ ඇස නොගැටෙන නිසාය. කෙසේ නමුදු එකල මේ කතාව පාර්ලිමේන්තුවෙන් එළියට නොයන තැනට වැඩ සිද්ධ කර ගැනීමට පාර්ලිමේන්තු නිලධාරීහු පියවර ගත්හ. ඒ කොහොම කෙසේ වෙතත් මෙතරම් පෙරළියක් කළ ගංජා ජාතකේ හොයා ගෙන යෑමට මට සිතුණි. එහෙම හොයාගෙන යනවිට මට සිතුණේ ගංජ ජාතකේ එක්ක බලන විට අපේ ජාතකේ මොකක්ද යන්න ය. ගංජාවලට එනම් කංසාවලට ඇත්තේ වර්ෂ දෙතුන් දාහක් තරම් ඉපැරැණි උප්පැන්නයකි. මේ උප්පැන්නය ලිය වී තිබෙන්නෙ එසේ මෙසේ තැනක නොවේ. මානව චින්තනය පිළිබඳ පුරාතනම සටහන් සේ සැලකෙන බමුණන් පණ ඇර රැකගෙන එන චතුර්වේදයේ මෙම ගංජ ජාතකය ලියා ඇත. ශාස්ත්‍ර වන්තයන් කල්පනා කරන පරිදි ක්‍රිස්තු උපතට වර්ෂ දෙතුන් දාහකට පෙර සිට වේදය මුඛපරම්පරාවෙන් පවත්වාගෙන එයි. ඍග්, යජුර්, සාම, අථර්වන් යනු චතුර්වේදයෝය. මේ අතරින් අථර්වන් වේදයේ කංසා ගැන සඳහන් වේ. විජය පත්‍රම් යනුවෙන් එහි කංසා ගැන දැක්වේ. එහි පූජනීය පැළ වර්ග පහක් ගැන සඳහන් වේ. කංසා ද ඒ පහට අයත් වේ. කංසා උපත පිළිබඳ මූලික වශයෙන් කතා දෙකක් හින්දු දේව කතාවල දැක්වේ. ඒ කතා මෙසේය.මේ කංසා පානය හැඳින්වෙන්නේ භන්ග් (bhang) යනුවෙනි. ජපානයේ සකේ සේ ඉන්දියාවේ භන්ග් එහි පාරම්පරික පානයයි. සුද්දන්ගේ පාලන සමයේ භන්ග් පානය පිළිබඳ සෙවීමට කොමිසමක්ද පත් කෙරිණ. ඒ 1896දීය. එමගින් එළි දැක් වූ වාර්තාව අනුව භන්ග් පානය යම් වාරණයකට ලක් කෙරිණ. එහෙත් ඉන්දියානුවන් භන්ග් පානය නතර කළේ නැත. දැනුදු ශිවරාත්‍රී සහ හෝලී උත්සවවලදී හින්දු බැතිමත්හු මේ කංසා මුසු ශක්ති ජනක පානය පදමට ගෙන නටමින් නටරාජා (ශිවගේ දහසක් නම් අතර එකක්) සමග එක්වෙති. එය පානය කිරීමෙන් දෙවියන් හා එක් විය හැකි බව හින්දු බැතිමත්හු අදහති. කොහොම නමුදු ඉන්දිවේ බරණැස වැනි ප්‍රදේශවල අවසරලත් භන්ග් පානය අලෙවි කරන කඩ තිබේ. ඕනෑ නම් බරණැසත් ගොහින් භන්ග් ද පානය කර එත හැක! මම පස් විටක් පමණ ඉන්දියාවේ ගියෙමි. එහෙත් ඉන්දියාව අස්සක් මුල්ලක් ගාණේ දන්න මගේ මිතුරෙක් මට නිතරම මතක් කරන්නේ ඉන්දියාවේ ගොහින් භන්ග් නොබී ආවොත් වැඩක් නැහැ බං යැයි කියාය. එහෙත් නොදන්න භන්ග් බොන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා බංලා! අතීතයේ ඉන්දියාවේ රණශූරයන් යුද බිමට ගියේ භන්ග් පානය කර පොඩි උත්තේජනයක් අරගෙනලු! හරියට වෙද පප්පාගේ අරිෂ්ඨ පානය වගේය. නැතිනම් විස්කි වගේය. ඒ විතරක්ද වාජීකරණ පානයක් හැටියටද මෙය ජනප්‍රියය. අලුත ආවාහ විවාහ වෙන ඉන්දියානු ජෝඩු පළමු රාත්‍රියට පෙර මේ ශිව දෙවිඳු හඳුන්වා දුන් පානය ගැනීමට අමතක නොකරත් ලු! මගේ මුලින් කී මිතුරා මේ පානය හඳුන්වන්නේ ඇඳ කැඩිච්චං මෝදකය යන කට කැඩිච්ච වචනයෙනි. ඒ කෙසේ වෙතත් ශිව දෙවිඳු අපේ දෙවිවරුන් සේ නොව ඉන්දියානුවන් දෙස හොඳට ඇල්ම බැල්ම යොමු කර තිබේ'දේව කුටුම්භයේ ඇති වූ ගැටුම් නිසා කලකිරුණු ශිව දෙවිඳු වරක් හිමාලයට ගියේය. මේ ශිව දෙවිඳු හින්දුන්ගේ දේවමණ්ඩලයේ අග්‍ර සංකල්පය වන ත්‍රිමූර්තියට අයත් ප්‍රබලයෙකි. බ්‍රහ්ම, විෂ්ණු, ශිව යනු ඒ ත්‍රිමූර්තියයි. කුටුම්භ ප්‍රශ්න හේතුවෙන් වන වැදුණු ශිව දෙවිඳුට වෙහෙස නිසාම තරමක් ලොකුවට වැඩුණු එක්තරා පැළෑටියක් යට නින්ද ගියේය. පැළෑටියේ කොළයක් දෙවිඳුගේ ඇඟ මත වැටී නින්දෙන් එහා මෙහා පෙරළීමෙන් පොඩි විය. එසේ පොඩි වීමෙන් උපන් සුවඳෙන් දෙවිඳු අවදි විය. ඒ සුවඳට වශී වූ දෙවිඳු එහි කොළයක්ක් කඩාගෙන අනුභව කළේය. එමගින් දිව්‍ය ආත්මය පිනා ගියේය. ශිව දෙවිඳු එසේ අනුභව කළේ කංසා පැළෑටියේ කොළයකි. ඉන් පසු ශිව දෙවි කංසා කොළ සහ මල් සාරය එළකිරිවලට මුසු කර ශක්ති ජනක පානයක් සකස් කළේය. සමහර විට මේ පානය හැදීමට පාර්වතී ද එක්වෙන්න ඇත.
එසේ නමුදු කංසා සහ ශිව අතර සබඳතාව නම් බැහැර කළ නොහැකිය. මෙසේ කිතු වසට වසර දෙතුන් දහසකට පෙර වේදයේ තිබෙන පරිදි ඊජිප්තුවේ එකලට අයත් පැපිරස් ලේඛනවල ද කංසා ගැන සඳහන් වේ. පාරාවෝ රජවරු ද කංසා භාවිත කළෝය. කිතු උපතට වසර දහසකට පෙර මැදපෙරදිග කංසා තෙල් භාවිත කළහ. ඉහළ ඔසු ගුණයෙන් යුත් කංසා තෙල් බිලිඳුන්ගේ ඇඟේ ද ආලේපනය කළහ. සමහර විට ජේසු බිලිඳාගේ ඇඟේ ද මෙය ආලේපනය කරන්නට ඇත. ඒ ඇඟ උණුසුම් කිරීමට ය. එකල කංසා තෙල මැදපෙරදිග ඉතා ජනප්‍රිය බෙහෙතක් විය. කංසා පිළිබඳ ආගම් අතර විවිධ මත තිබේ. ඉස්ලාම් ආගමේ සමහර ගුරුකුල අනුව කංසා හලාල් ය! සමහර ගුරුකුල අනුව කංසා හරාම් ය. බුදු සමයේ ටිබටය සහ නේපාලය ආශ්‍රිතව වරධනය වූ තන්ත්‍රයාන සම්ප්‍රදාය කංසා ආධ්‍යාත්මික ඔසුවක් සේ භාවිත කරයි. එසේම හින්දු ස්වාමිවරු ද නිර්ග්‍රන්ථ සාධුවරුද මැටියෙන් කළ පයිප්පයකින් කංසා උරති. එය දැනුදු දැකිය හැකි ය. ශිව දෙවිඳුගේ ශරීරයෙන් උපන් හෙයින් කංසා අංගජා යනුවෙන්ද ඔවුහු හඳුන්වති. සමහර ඉන්දියානු මිතුරන් මා සමග ප්‍රකාශ කළේ කංසා පළමු පැළය උපන්නේ දෙව් ලොවින් වැටුණු අමෘත බින්දුවකින් බවය. ඒ කොහොම වෙතත් මේ අමෘත බින්දුවෙන් රෝපිත පැළය අද ලෝකයම වසඟ කරගෙන තිබේ. එක් පැත්තකින් එය ආගමික සංකල්ප ගොඩනගා තිබේ. රස්ටපාල සංස්කෘතික ඒ අතර මුල් තැනක් ගනී. ලෝක වාණිජ වෙළෙඳපොළ තුළ කංසා සැලකෙන්නේ කළු රත්තරන් හැටියට ය. ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළ පරිදි කංසා අපනයනය කරන නිසි වැඩපිළිවෙළක් ආරම්භ කළොත් දෙව් ලොවින් වැටුණු බව හින්දුන් කියන අමෘත බින්දුවෙන් වැඩක් ගත හැකි වනු ඇත. වරුණ අබේසේකරකංසා පැළයේ උපත පිළිබඳ දෙවැනි කතාව අනුව ශ්‍රී විෂ්ණු දෙවිඳු අමා පානය සොයන්න ක්ෂීර සාගරය කළඹන කල හලාහල නැමති ලොව දරුණුම විෂ මතු විය. එය අසුරයන් අතට ගියොත් වෙන විනාශය දුටු ශිව දෙවිඳු ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ විෂ සියල්ල පානය කළේය. හලාහල පානය කළ ශිව දෙවිඳු ඇඟ සීතල වී බිම ඇද වැටුණේය. ඉන් පසු දෙවිවරු කංසා අඩංගු බෙහෙතක් සාදා ශිව දෙවිඳුට පෙව්වේය. දෙවිඳු නැගිට්ටේ ඉන් පසුවය. කෙසේ වෙතත් දැඩි ශිව භක්තිකයෝ මෙම කතාව බැහැර කරති.