brand logo

රනිල් එ.ජා.ප. නායකකම අත්හරින්නේ එ.ජා.ස මහලේකම් කම ලැබුණොත් විතරයි

17 December 2019

මේ ආකාරයට අරලියගහ මන්දිරයට අලුතින් ආ නව අගමැති මහින්ද ‘බණ අසද්දී’ අරලියගහ මන්දිරයේ හිටපු අගමැති රනිල් තවත් දින කිහිපයකින් විදේශගත වීමට අදාළ කටයුතු සොයාබලමින් සිටියේ ය. ඒ සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ ද සහයෝගය ඇතිව ය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ තරම් ‘ලක ලෑස්ති’ වන මෙකී ‘විදේශ සංචාරයේ දී’ ඉතා වැදගත් කාරණයක් සම්බන්ධයෙන් මහන්සි වනු ඇති බව එ.ජා.ප. ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. මෙම කාරණය නම්, ‘එක්සත් ජාතීන්ගේ සංගමයේ මී ළඟ මහලේකම්වරයා වශයෙන් අගමැති රනිල්ගේ නම’ යෝජනා කිරීමට අදාළ කාරණා කිහිපයක් සොයාබැලීම ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහලේකම්වරයා වන අන්තෝනියෝ ගුටේරෙස්ගේ ධුර කාලය ලබන වසරේ දී අවසන් වීමට නියමිත ය. යුරෝපා කලාපයේ මහලේකම්වරයෙකු වූ ඔහුගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම තනතුර මී ළඟට ආසියා-පැසිෆික් කලාපයේ අයෙකුට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට පැතිර යන ‘ආරංචි’ සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජික රටවල් ඒ වෙනුවෙන් ‘රනිල්’ ව යෝජනා කිරීමට ඉඩ ඇති බව ද කියැවේ. මින් පෙර මෙම අවස්ථාව ලබාගැනීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද උත්සහ දරා තිබූ අතර මෙවර රනිල් වික්‍රමසිංහ ද ඊට අරඅඳින බව පැවසේ. කෙසේවෙතත් පසුගිය දා එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෙකු වන ජෝන් අමරතුංග ද මේ සම්බන්ධයෙන් ‘ඉඟියක්’ පළ කර තිබුණේ ය. කෙසේ හෝ ‘මෙම උත්සාහය’ මල් පල ගැන්වෙන බවක් පෙනේ නම්, බොහෝ විට ඉදිරියේදී රනිල් එ.ජා.ප. නායකත්වයෙන් සමුගැනීමට ද ඉඩ ඇති බව පැවසේ. සජිත් පාර්ශ්වයේ එ.ජා.ප. සාමාජිකයෙකු ‘ජනරජයට’ පැවසුවේ, එවැනි විශාල තනතුරක් ලැබුණොත් මිස, රනිල් මේ ආත්මයේදී නම්, එක්සත් ජාතික පක්ෂයේ නායකකම හැර නොයනු ඇති බව ය.
 

More News..