brand logo

රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනය ප්‍රසිද්ධ කරන්න

05 December 2018

2015 – 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබෙනවා. 2017 වසරේ පෙබරවාරි මස 3 දින තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමත් සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. ජනාධිපති කාර්යාලය අවස්ථා දෙකකදී එය ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේ සේකර මහතා අද (5) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව හමුවේ කළ අභියාචනයක් සැලකිල්ල ගනිමින් එම කොමිසම මෙම නියෝගය නිකුත් කළ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළා. නීති විරෝධීව ධනය එක්රුස් කිරීමේ චෝදනා පිළිබඳව පරික්ෂා කිරීමට හා දුෂණය මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලඥයින්ගේ වත්කම් ප‍්‍රකාශන භාවිතා කළ හැකි බව තම ආයතනයේ විශ්වාසය යැයි ද ඔබේසේකර මහතා පැවසුවා. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ කොමිසමේ නියෝගය අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ හැකියාව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇති නමුත් එවැනි පියවරක් ගැනීමෙන් තම ඡන්දයෙන් පත් කළ ජනතා නියෝජිතයින්ගේ වත්කම් ප‍්‍රකාශන ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය වගවීම හා විනිවිද භාවය යන සංකල්ප ප‍්‍රවර්ධනය කරන බවට ජනාධිපතිවරයා දුන් ප‍්‍රතිඥා උල්ලංඝණය වන්නේ යැයි ද ඔහු පෙන්වා දුන්නා. තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන කොමිසමේ නියෝගය ලැබුණු වහාම එම තොරතුරු තමන් වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කී ඔබේසේකර මහතා එය ලැබුණු වහාම ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු යොදන බව ද සඳහන් කළා.
 

More News..