brand logo

රන්ජන් විනිසුරුවරුන් 60ක් සමග කතා කරලා - එජාප අයම විවේචනය කරන හඬපට රැසක්

11 January 2020

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක සිදු කළ බව කියන දුරකථන සංවාද අතර විනිසුරුවරුන් හැටකට අධික පිරිසකගේ හඬ පටද ඇති බව වාර්තා වේ. මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක, විනිසුරු ධම්මික හේමපාල ආදී විනිසුරුවරුන් සමග පැවැති සංවාදයන්හි හඬපට මේ වන විට මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇත. මීට අමතරව අධිකරණයේ පවතින නඩු කටයුතු සම්බන්ධයෙන්ද හිටපු රාජ්‍ය ඇමැතිවරයා මැදිහත්වී ඇති බව හැඟවෙන හඬ පට ගණනාවක්ද පසුගියදා මාධ්‍යයට මුදාහැර තිබුණි. තාජුඩීන් ඝාතන නඩුව, දුමින්ද සිල්වාට එරෙහි නඩුව, උදය ගම්මන්පිලට එරෙහි නඩුව, සිල්රෙදි නඩුව, මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව නූරීවත්ත අතකොටාගේ නඩුව ආදී රටේ ආන්දෝලනයට තුඩුදුන් නඩු කිහිපයක්ම ඒ අතර වෙයි. දුරකථන සංවාද අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් විවේචනය කරන හා අපහසුතාවට පත් කරනු ලබන හඬපට රැසක් ඇති බව වාර්තා වේ. ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පක්ෂ සභාපති කබීර් හෂීම්, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, හිටපු අමාත්‍යවරුන් වූ රවි කරුණානායක, වජිර අබේවර්ධන, රිෂාඩ් බදුර්දීන් ආදී මැති ඇමැතිවරුන් විවේචනය කරනු ලබන දුරකථන සංවාද ඇතුළත් ඇමතුම් ඇති බව සඳහන් වේ. මීට අමතරව බැඳුම්කර චෝදනා එල්ල වූ අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ. හෙක්ටර් අප්පුහාමි ආදී මැති ඇමැතිවරුන් සම්බන්ධ දුරකථන සංවාද ඇතුළත් බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් හා මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන් සමග පැවැත්වූ දුරකථන සංවාද ද ඇතුළත් බව වාර්තා වේ. මෙම තත්ත්වය මත රන්ජන් රාමනායකට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුළින්ම දැඩි විරෝධයක් මතුවී ඇත. ඊට අමතරව පොලිසියේ ඉහළ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා රජයේ ඉහළ නිලධාරීන් සමග පැවැත්වූ දුරකථන සංවාද ද එහි අඩංගු බව වාර්තා වේ. චමින්ද සේනාරත්න  
 

More News..