brand logo

රන්ජන්ට කලින් හිරේ ගිය එස්.බී. දැන් කියන කතාව

16 January 2021

දේශපාලනඥයන්ට කට නැතිනම් දේශපාලනය කළ නොහැකිය. දේශපාලනය තුළ කැපී පෙනෙමින් ඉක්මනින්ම දේශපාලන ඉණිමගේ ඉහළට යාමට හැකියාව ලැබෙන්නේ කට ඇති දේශපාලනඥයන්ටය. කට පරිස්සම් කර ගැනීමට නොහැකි ඇතැම් දේශපාලනඥයන්ට ඒ වේගයෙන්ම දේශපාලන ඉණිමගේ පල්ලම් බැසීමට සිදුවන්නේත් කට නිසාමය. හොඳට නරකට දෙකට කටමය කියන කතාව දේශපාලනයේදී සිහිපත් වන්නේ කට නිසාම ඇතැම් විට හිරේ විලංගුවේ ලගින්නට වන දේශපාලනඥයන් දකින විටදීය. පසුගිය සතියේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිරේට ගියේ කට නිසාය. රන්ජන් හිරේ යන විට අපිට සිහිපත් වූයේ දැනට අවුරුදු පහළොවකට පමණ පෙරදී කට නිසාම හිරේ ගිය එස්.බී. දිසානායක හිටපු ඇමැතිවරයාය. එස්.බී. හිරේ ගියේ එවකට අගවිනිසුරුව සිටි සරත් එන්. සිල්වා විවේචනය කළ නිසාය. ගාල්ලේ හබරාදූවේ පැවති වප් මඟුල් උත්සවයකදී ඔහු සරත් එන්.සිල්වා විවේචනය කර තිබුණේ උසාවිය දෙන බලු තීන්දු පිළිගන්නේ නැති බව කියමිනි. මේ කතාව කියන්නට පෙර ඇමැතිවරයා සමග කොළඹ සිට එකම වාහනයේ පැමිණි මහාචාර්ය කේ.එන්.ඕ. ද සොයිසා අතරමග දිගටම ඔහුට කියා තිබුණේ අධිකරණය විවේචනය වන කතා නොකියන ලෙසටය. තමන්ගේ ඒ ඉල්ලීම පසෙක තබමින් එස්.බී. කට කැඩිච්ච කතාව කීවේය. මේ නිසා නැවත කොළඹ යන තෙක් මහාචාර්යවරයා එස්.බී. සමග එකම වචනයක්වත් කතා කර තිබුණේ නැත. එදා සරත් එන්. සිල්වා විවේචනය කිරීම ගැන එස්.බී.ට අදටත් කිසිදු දුකක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවමක් නියම කළ පසුව එස්.බී. එක්සත් ජාතීන්ගේ අධිකරණයට මේ සිද්ධිය පැමිණිලි කළේය. එහිදී ඔහු නිදොස් කරමින් තීන්දුව දුන්නේ ඔහුට වන්දියක් ගෙවන ලෙසද නියෝග කරමින්ය. එහෙත් එම නියෝගය ලංකාවේ අධිකරණය ගණන් ගත්තේ නැත. ‘‘එදා මම මේ වගේ කතාවක් නොකිව්වා නම් කියලා හිතුණේ නෑ. මම නිවරදියි කියලා මම දන්නවා. ජාත්‍යන්තර අධිකරණයකින් මා නිදහස් කිරීමෙන් මම කළ දේ හරියි කියලා ලෝකයම පිළිගෙන තිබෙනවා’’ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා කීවේය. එස්.බී. සිරගෙට ගියේ බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් ලබමින්ය. සිරගෙදරදී ඔහුට සිදුවූයේ පුස්තකාලයේ වැඩ කිරීමටය. ‘‘ඒ කාලයම දුෂ්කර කාල පරිච්ඡේදයක් තමයි. මට ඒ වෙලාවේ හිරගෙදර නිලධාරීන්ගෙන් සහායක් ලැබුණා. මට බරපතළ වැඩ ඇතිව දඬුවම් ලැබුණත් පුස්තකාලයට දාපු නිසා පුස්තකාලයේ ඉඳගෙන කියවන්න ඉඩ ලැබුණා. ඒ වගේම ලියන්නත් වෙලාව තිබුණා. මම හිරේ ඉන්න කාලේ පොත් දහයක් ලිව්වා. හිරෙන් එළියට ආවසට පස්සේ උත්සවයක් තියලා මේ පොත් එළිදැක්වූවා’’එස්.බී. කීවේය. හිරේ සිටි එස්.බී.ට සහෝදර සිරදරුවන්ගෙන්  ලැබී තිබුණේ හොඳ සහායකි. හිරේ සිටි ඇතැම් අය පසුකාලීනව නිදහස් කර ගැනීමටද ඔහු මැදිහත් වී තිබුණේය. සිරකරුවන්ට පොදු සමාව දෙන අවස්ථාවලදී තමන් සමග සිටි සිරකරුවන් නිදහස්කර ගැනීමට ඔහු මැදිහත් විය. එසේ නිදහස් වී පැමිණි ඇතැමුන්ට රැකියා සොයා දීමට සිදුවූයේද එස්.බී.ට මය. එසේ හිරගෙදරදි හිත මිතුරුකම් ඇති කර ගත් ඇතැම් සිරකරුවන්ට තවමත් එස්.බී.ගේ ගෙදර දොර විවෘතය. ‘‘හිරකරුවෝ මට හොඳට සැලකුවා. අපි බිම නිදාගත්තේ. ඒ අය මට පැදුරක් ගෙනත් දුන්නා. හැබැයි ඒ වුණත් හිරගේ හැමතැනම නයි කූඹි ඉන්නවා. කූඹි අපිව කනවා. ඒනිසා වටේට ලාම්පුතෙල් ගාගෙන තාවාකාලිකව ආරක්ෂා වෙනවා. ලාම්පුතෙල් හිඳිලා ගියාම අායිමත් කූඹි එනවා. උදේට මට කලින් ටොයිලට් එකට ගිහින් මට යන්න ඒවා සුද්ධ කරලා දෙන අයත් හිටියා’’ එස්.බී. සිරගෙදර මතක අවදි කළේය. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරුවන්ට පිටින්කෑම ගෙන්වා ගැනීමට අවස්ථාවක් තිබෙන නමුත් සිරකරුවන්ට පිටින් කෑම ගෙන්වා ගැනීම තහනම්ය. එහෙත් එස්.බී. එයට උපක්‍රමයක් යොදාගත්තේය. ඒ තමන්ගේ කෑම වේල රිමාන්ඩ් සැකකරුවන් ලවා ගෙන්වා ගැනීමයි. ඒ නිසා ඔහු සිරගතව සිටි කාලය පුරාම ගෙදරින් කෑම ගෙන්වා ගැනීමට හැකි විය. සිරදඬුවම් අවසන් කර නිදහස්වී පැමිණියද එස්.බී. ට  ඡන්ද අයිතිය අහිමි විය. එහෙත් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කළේය. ඒ දේශපාලන උපක්‍රමයක් භාවිත කරමින්ය. ‘‘මම පොඩි උප්පරවැට්ටියක් දාලා තමයි ඡන්දෙට ආවේ. මට තරග කරන්න දෙන්න බෑ කියලා කිව්වම මම මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඒ බව ඉල්ලා ගත්තා. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒ ලිපියට වාරණ නියෝගයක් ගත්තා. ඒ අනුව මම ඡන්දයට ඉදිරිපත් වෙලා මධ්‍යම පළාත් ඉතිහාසයේ අපේක්ෂකයෙක් ගත්ත වැඩිම ඡන්ද ගාන වුණ ඡන්ද එක්ලක්ෂ අසූ දාහක් අරගත්තා’‘ එස්.බී. කියන්නේය. එදා තමන් කළ ප්‍රකාශය නිවරදි බව සරත් එන්. සිල්වා පසුව කළ ප්‍රකාශවලින් හෙළි වූ බව ඔහු කියන්නේය. එහෙත් කාලයක් තමන්ගේ නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි රන්ජත් රාමනායක කළ ඇතැම් ප්‍රකාශ වැරදි යැයි ඔහු කියන්නේය. රන්ජන්ට හිරේ යෑමට සිදුවන ප්‍රකාශය කළේද ඔහුට කලින් හිරේ ගිය එස්.බි. ගේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසින් කටයුතු කළ කාලයේදීමය. ‘‘එම සිද්ධිය වුණේ යහපාලන ආණ්ඩු කාලයේ රන්ජන් මගේ නියෝජ්‍ය ඇමැතිවරයා විදියට වැඩ කරන කාලයේදී අධිකරණයෙන් සමාව ගන්න කියලා මම ඔහුට කිව්වා. ඒත් ඔහු සමාව ගන්න කැමැති වුණේ නෑ. ඔහු බොහෝ එඩිතර ප්‍රකාශ කරනවා. සමහර ඒවා නීත්‍යනුකූල නෑ. නමුත් ඔහු තමන්ගේ ස්ථාවරයේ දැඩිව ඉන්නවා. ඔහු එහෙම  හොරෙක් වංචාකාරයෙක් නෙමෙයි’’ එස්.බී. කීවේය. සංජය නල්ලපෙරුම
 

More News..