brand logo

රථවාහන දඩවලින් පොලිසියට දෙන දිරිදීමනාව වසරින් වසර කෙට්ටුවෙලා

02 February 2020

රථවාහන දඩමුදල් මත පොලිස් නිලධාරීන්ට ත්‍යාග වශයෙන් ගෙවන දිරිදීමනා ඉකුත් පස් වසරේදී සියයට 37 සිට 18 දක්වා අඩු කර තිබේ. 2015 වසරේ රුපියල් දස ලක්ෂ හාරසිය හතළිහක් පමණ වූ දඩ ආදායමෙන් සියයට 37ක් හෙවත් රුපියල් දස ලක්ෂ එකසිය හැටක් පමණ ත්‍යාග ලෙස ගෙවා ඇති අතර 2016 වසරේ දඩ ආදායම වූ රුපියල් දසලක්ෂ පන්සිය තිහෙන් ත්‍යාග ලෙස ගෙවා ඇත්තේ සියයට විසි අටක ප්‍රතිශතයකි. 2017 වසරේ රථවාහන දඩ ආදායම රුපියල් දසලක්ෂ හයසිය හතළිහත් ඉක්මවා ඇති අතර ත්‍යාග ලෙස ගෙවා ඇත්තේ රුපියල් දසලක්ෂ එකසියපනහක් හෙවත් සියයට විසි හතරක් පමණි. 2018 වසරේ ත්‍යාග ලෙස රුපියල් දස ලක්ෂ එකසිය හැත්තෑවක් ගෙවා තිබෙන අතර එය එම වසරේ දඩ ආදායම වූ රුපියල් දස ලක්ෂ හයසිය හැටෙන් ගෙවා ඇත්තේ සියයට විසි හයක ප්‍රතිශතයකි. අඩුම ප්‍රතිශතයක් ත්‍යාග වශයෙන් පිරිනමා ඇත්තේ ඉකුත් වසරේදීය. එම ප්‍රතිශතය සියයට දහඅටකි. එම වසරේ ආදායම රුපියල් දස ලක්ෂ නවසිය හතළිහ ඉක්මවා ඇතත් ත්‍යාග ලෙස නිලධාරීන්ට හිමි වී ඇති මුදල රුපියල් දස ලක්ෂ එකසිය හැටක් පමණි. ත්‍යාග මුදල් මෙලෙස අඩු වීමට හේතුව එම ත්‍යාග පිරිනැමීම් සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වීම බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. නියමිත නිර්ණායක මත ත්‍යාග මුදල් තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජාතික විගණන කාර්යාලය සිය අලුත්ම විගණන වාර්තාවෙන් නිර්දේශකර තිබේ. එමගින් ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාලියේ විනිවිදභාවයක් ඇති වන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. නිලන්ත මදුරාවල
 

More News..