brand logo

රත්ගම ඝාතන පරීක්ෂණවලට පොලිසියේ ඉහළින් බලපෑම්

20 April 2019

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ සඳහා බලපෑම් එල්ලවීම නිසා එහි පරීක්ෂණ කටයුතු මන්දගාමී වී ඇති බවට තොරතුරු වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීමේ චෝදනාව එල්ල වූ ඉහළ පොලිස් නිලධාරියාට ඉහළම පොලිස් නිලධාරීන්ගේ රැකවරණය ලැබීම නිසා පරීක්ෂණ කටයුතු අඩාළ වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මූලස්ථානයට නිර්දේශ කර ඇත්තේ විනිවිද භාවයකින් සිදු කිරීමට නම් ඊට සම්බන්ධ පොලිස් නිලධරීන්ගේ සේවය අත්හිටුවා හෝ ඔවුන් අනිවාර්ය නිවාඩු යවා පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඥාතීන් හා එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මීට ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධ වීම හේතුවෙන් පරීක්ෂණ අඩපණව ඇති නිසා මියගිය අයට අයට සාධාරණයක් ඉටු නොවන බවයි. පසුගිය ජනවාරි 23 වැනි දින රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනකු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යටතේ ක්‍රියාත්මක වූ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පැහැර ගෙන ගොස් පහර දීමෙන් පසුව මියගොස් ඇති බවට චෝදනා නැගෙන අතර පසුව ඉහළින් ලැබුණු නියෝගයක් මත එම මියගිය අයගේ සිරුරු පුලුස්සා දමා ඇති බව ද එම ඒකකයේ සිට පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සූදානමින් සිටියදී පරීක්ෂණ යටපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මියගිය ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් පවසන්නේ එටකට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතත් මේ වන විටත් ඔහුගෙන් ප්‍රකාශයක්වත් ලබා නොගෙන පොලිස් මූලස්ථානයෙන් සිටීමෙන් මේ සිද්ධිය යටපත්වීමට බලපෑම් එල්ල වී ඇති බවයි.
 

More News..