brand logo

රට සියලු පුරවැසියන් රක්ෂණය කර ඇති බව ඇමති වජිර කියයි

28 December 2018

රට සියලු පුරවැසියන් ආපදා අවස්ථාවක දී විපත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රක්ෂණය කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දිසාපතිවරුන්ගේ සහ ආපදා කළමනාකරණ රැස්වීමට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.... "හානියට පත් සියලු පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් සහ ආධාර මුදල් ලබාදීමට රජයක් ලෙස අප කටයුතු කරනවා. එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ස්ථිර වශයෙන් ම තීරණය කළ හැකිවන්නේ ආපදාවව පළිබඳ අවසන් වාර්තා සැකසීමෙන් පසුව. නමුත් මේ වනවිටත් කඩිනමින් ලබාදිය යුතු සහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් දිසාපතිවරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. ඒ නිසා ගැටලුවක් නැතිව සහන සේවා සැපයීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතිනවා. එමෙන් ම අප දන්නවා මෙවැනි විපතක් සිදුවූ අවස්ථාවල දී දකුණේ සුනාමිය, ගංවතුර වැනි අවස්ථාවල දී උතුරේ ජනතාව ඉදිරිපත් වූ දකුණේ තම සහෝදර ජනතාව වෙනුවෙන් විවිධ උපකාර ආධාර පරිත්‍යාග ලබාදුන්නා. මේ අවස්ථාවේ දී දකුණේ ජනතාව උතුරේ සිටින තම සහෝදර ජනතාව වෙනුවෙන් එවැනි පරිත්‍යාග රැස්කරමින් සිටිනවා. එවැනි පරිත්‍යාග සිදුකරන අවස්ථාවල දී දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු මගින් පරිත්‍යාග කිරීම් කරන්න කියා මා ඉල්ලා සිටින්න කැමතියි. එවිට ඔබ සිදුකරන එවැනි පරිත්‍යාග අත්‍යාවශ්‍යම සහ සුදුසුම ස්ථාන වෙත යොමු කරන්න දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකියාව ලැබෙනවා. මෙවැනි ආපදා අවස්ථාවක දී අප වඩාත් සැළකිලිමත් විය යුතු කරුණක් වන්නේ සනීපාරක්ෂක හා සෞඛ්‍යආරක්ෂක තත්ත්වයන් පිළිබඳව. ඒ නිසා වතුර බැසගිය වහාම ජලයෙන් යටවී තිබූ ළිං පිරිසිදු කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. නමුත් ළිං පිරිසිදු කිරීම දවසකින් හෝ දෙකකින් අවසන් කළ නොහැකියි. මේ සඳහා කාලයක් ගත වනවා. එබැවින් ළිං පිරිසිද කිරීම කඩිනම් කිරීමට අප අවශ්‍ය පියවර ගන්නවා."
 

More News..