brand logo

රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන් ඉවත් කරනවා - ඇමති අර්ජුන

02 February 2019

ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. එසේම රට පිළිබඳව අවධානය යොමු නොකරමින් තමන් වෙනුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන් කණ්ඩායමෙන් ඉවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. උඩුගම්පොල පැවැති ක්‍රීඩා උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. “ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්වයක්වත් දැන් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ක්‍රිකට් අද වැටිලා තියෙන්නේ ඉතා භයානයක තත්ත්වයක. ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ නිහඬ කියලා. ඒ නිසා තමයි ‍මම මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ. අපි මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්නේ එක් පාර්ශ්වයක් ලෙසින්. ක්‍රිකට්වලට යමක් කරන්න කැමැති අයයි ඒ පාර්ශ්වයේ ඉන්නේ. අපි කණ්ඩායමක් විදියට මේ නිලවරණයෙන් ජයග්‍රහණය කළාට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රිකට් හදනවා. පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආ සල්ලි කොහේ ගියාද කියලත් හොයනවා. මම ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ලබා ගන්නවා. අපි අපේ රටේ ක්‍රිකට්වලට ආ ‍මුදල් ගසා කෑවේ කවුද කියලා හොරකම් කළේ කවුද කියලා රටට පෙන්වන්න ඕන. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට මූලිකම හේතුව නුසුදුසු පුද්ගලයෝ පරිපාලනයට පැමිණීම. මට ඇත්තටම සභාපති ධුරයට සුදුසුකම් තියෙනවා. නමුත් ක්‍රිකට් නීතියට අනුව මට සභාපති ධුරයට තරග කරන්න බැහැ. ඒ නිසා මම මෙවර නිලවරණයේදී උපසභාපති ධුරයට තරග කරන්න තීරණය කරලා තියෙන්නේ. ක්‍රිකට් පරිපාලනය වගේම ක්‍රීඩකයින්ගේ මොළත් ශුද්ධ කරන්න ඕන. ක්‍රීඩකයින්ගේ විනය ගැන අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. කැපවීමත් අවශ්‍යයි. ඒවා හදාගන්න පුළුවන්. ක්‍රීඩකයින්ට තමන්ට රටට ක්‍රීඩා කිරිමට අවශ්‍යතාවය නැත්නම් ඒ අය ක්‍රීඩා කරන්න ඕනි නෑ. තවත් ඕනි තරම් මේ රටේ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඉදිරියේදි මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න කටයුතු කරනවා.”
 

More News..