brand logo

රට රැකියාව අත්හැරලා බෑන්ඩ් ගහන්න ආවා

19 November 2019

උන් තැනම නුඹ තාම ඒ විදිහමයි මගෙ වචනයකටත් හරිම අවනතයි රසතැන් සොයා ගියපු මං අසරණයි කොතනකට පා වෙයිද මට මා සැකයි හැම වැරදි කෙරුවේ මමයි ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත්කරන් මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ නිතර ඇසෙන ජනප්‍රිය ගීයක්. විශේෂයෙන් ‘සහරා ෆ්ලෑෂ්’ පසුබිම් සංගීතය සපයන සංගීත සංදර්ශනවල නම් මේ ගීය අනිවාර්යයෙන්ම ඇසේ. උවිඳු දයාරත්න ලියූ මේ ගීය ගයන්නේ සහරා ෆ්ලෑෂ් ගායක ජයතු සඳරුවන්. “ගීයේ තනුව සහ සංගීතය නිර්මාණය කළේ තරිඳු කෝස්තා. තරිඳු සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකේ බේස් ගිටාර් වාදකයා. සහරා ෆ්ලෑෂ් ආරම්භක සාමාජිකයෙක් වන ඔහු ‘පිනිපලස’ සමග පිළිසඳරකට එක්වෙමින් මෙතෙක් ආ ගමන්මග ආවර්ජනය කළේය. ෂහරා ෆ්ලෑෂ් ආරම්භ වුණේ කොහොමද ? මම සාමාන්‍ය පෙළට සංගීතය හැදෑරුවත් උසස් පෙළට කළේ වාණිජ විෂය. පාසලේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ‘රිද්මියන්ස්’ නමින් සංගීත කණ්ඩායමක් හදා ගත්තා. ඊට පස්සේ ‘ ෂාහෙන්සා’ නමිනුත් අතුරුගිරියේ කණ්ඩායමකට සම්බන්ධ වුණා. උසස් පෙළින් පස්සේ 2004 දී මම විදෙස්ගත වුණා. සහරා ෆ්ලෑෂ් උත්පත්තිය සිද්ධ වුණේ එහිදී. ඒ කියන්නේ ඩුබායිවල . ප්‍රදීප් කේ තමයි බෑන්ඩ් එකේ නිර්මාතෘ. පාළුව මකා ගන්න තමයි වැඩේ පටන් ගත්තේ. එහේ වැඩ කරන අපි කීපදෙනෙක් එකතු වෙලා සිකුරාදා දවස්වල පොඩි පොඩි පාටිවලට ගියා. මට ලංකාවේදි ගිටාර් ගහන්න බැහැ. ඩුබායිවලදි තමයි ගිටාර් ගහන්න පුරුදු වුණේ. බෑන්ඩ් එක ලංකාවට ආවේ..? මම ඩුබායිවල අවුරුදු එකහමාරක් වැඩ කළා. ප්‍රදිප් කේ වැඩ කළේත් එහේ. ලංකාවට ගිහින් සහරා ෆ්ලෑෂ් නමින්ම බෑන්ඩ් එක කරමු කියලා ප්‍රදීප් යෝජනා කළා. අපි ලංකාවට ඇවිත් බෑන්ඩ් එක පටන් ගත්තා. ප්‍රදීප් වැඩේ මට භාරදීලා ආයෙමත් ඩුබායි ගියා. ඩුබායිවල ඉඳන් ප්‍රදීප් අනුග්‍රහය ලබා දුන්නා. දැන් මම ඇතුළු කීප දෙනෙකුගේම රැකියාව තමයි සහරා ෆ්ලෑෂ්. බෑන්ඩ් එකේ ආරම්භක සාමාජිකයන් අතරින් අද ඉන්නේ ප්‍රදීප් සහ මම විතරයි. කවුද දැන් බෑන්ඩ් එකේ සාමාජිකයන්..? ප්‍රදීප් කේ නායකයා. මම බේස් ගිටාර්. හර්ෂණ ප්‍රසාද් රිදම් ගිටාර්. සංඛ දිලුම් ලීඩ් ගිටාර්. හසිත කෝකිල කී බෝඩ්. ටිරාන් අකුරැස්ස ඩ්‍රම්ස්. දිනේෂ් සඳකැළුම් ඔක්ටර් පෑඩ්. ප්‍රදීප් කේ. ජයතු සඳරුවන්, ෆැන්ටා සුමී, තුෂාර ජෝ, සහ එම්.ජී. ධනුෂ්ක නිත්‍ය ගායකයන් ලෙස කටයුතු කරනවා. එළිමහන් ප්‍රසංගවලදී ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙනවද.? ඇත්තටම ඔව්. දුප්පතාගේ නයිට් ක්ලබ් එක තමයි අපි. ඒත් අපටත් ගැටලු තියෙනවා. ප්‍රසංගවල කාලය සම්බන්ධ ගැටලුව විශාල ප්‍රශ්නය. එකම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට එක එක නීති. සංගීත ප්‍රසංගයකින් කී දෙනෙක් ජීවත් වෙනවද. මේක අපිම හදා ගත්තු රැකියාවක්. ඒ නිසා පාන්දර දක්වාම ප්‍රසංග පවත්වන්න අවසර දෙනවා නම් හොඳයි. ඒත් ඉතිං රටේ කලබලයක් හරි ආපදාවක් හරි සිද්ධ වුණොත් අපි ඉවරයි. ප්‍රේක්ෂකයෝ සංගීත බලන්න එන්නෙ නැහැ. අපිට නම් පහුගිය කාලේ විදෙස් ප්‍රසංග රැසක්ම ලැබුණා. සහරා ෆ්ලෑෂ් කියන්නේ අද අංක එකේ සංගීත කණ්ඩායමක්නේ. ඒක අපිට ආඩම්බරයක්. අද ලංකාවේ හැම තැනම සංගීත කණ්ඩායම්. ඇත්තටම මේවායේ ප්‍රමිතියක් තියෙනවද..? ඇත්ත. දැන් අපිට සංසදයක් තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම් සියල්ලම මේ සංසදයේ සාමාජිකයන්. බෑන්ඩ්වල ප්‍රමිතියක් මනින්න නම් බැහැ. අද ආරම්භ කළ බෑන්ඩ් එකකට උනත් සංසදයේ සාමාජිකත්වය ගන්න පුළුවන්. මේ සංසදය හරහා අපේ අයිතිවාසිකම් දිනා ගන්න වගේම සුබසාධන කටයුතු සඳහාත් ප්‍රමුඛත්වය ගන්නවා. තනු නිර්මාණ ශිල්පියෙක් ලෙස ඔබේ භූමිකාව විස්තර කළොත්..? මම ගීත කීපයකටම තනු රචනා කර තිබෙනවා. අපේ බෑන්ඩ් එකේ මුල්ම සිංදුව තමයි., මිය යන්න සූදානම් පැරදුම දරන් සමරන්න එනවාද සුදු මල් අරන් මේ ගීයේ තනුව මගේ. උවිඳු දයාරත්නගේ ජනප්‍රිය වුණු පළමු ගීත රචනාව. ඒ වගේම අපේ බෑන්ඩ් එකේ තුෂාර ජෝෂප් ගැයූ පළමු ගීය. ඒ ඇරෙන්න මම තව ගීත කීපයකටම තනු රචනා කළා. ‘දවසක මා මේ ලෝකෙන් යාවී එදාට මං නැති අඩුව දැනේවී..’ මම තනු සහ පද රචනා කළ ගීයක්. ගයන්නේ තුෂාර ජෝෂප්. ඒ වගේම පසන් මීගස්දෙණිය ලියූ ගීත කීපයකටම මම තනු රචනා කළා. ඒ ගීත ළඟදීම අජිත් බණ්ඩාරත් , භාෂි මදුභාෂිත් ගායනා කරන්න සූදානම්. විදෙස් රැකියාව අත හැරලා බෑන්ඩ් එකක රැකියාව කිරීම ගැන පවුලේ අයගේ අකැමැත්තක් නැද්ද..? නැහැ. මේක මම කැමැත්තෙන් කරන රැකියාව.ගෙදරින් සහයෝගය ලැබෙනවා. මගේ තාත්තා මට වයස අවුරුදු හතේදීත්, අම්මා මම උසස් පෙළ කරද්දීත් ජීවිතෙන් සමු ගන්නවා. මගේ ලොකු නංගී තිළිණි, විවාහ වුණේ ෆ්ලෑෂ් බෑක් රොෂාන් ප්‍රනාන්දු සමග. අනෙක් නංගී දිලිණි, සවුන්ඩ්ස් කරන කසුන් ප්‍රියන්ත සමග විවාහ වුණා. මගේ බිරිඳ අයේෂා සෙව්වන්දි. දුව නෙතුමි මින්සරා හෝමාගම මහා විදුහලේ හයවැනි ශ්‍රේණියේ. දුව සංගීතය කරනවා. ඒ වගේම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරනවා. අලහකෝන්
 

More News..