brand logo

රට පුරා ගෙවල් බිඳපු “චූන් කුරුල්ලා’’ පොලිස් කූඩුවට

29 September 2020

  දිවයින පුරා ගෙවල් බිඳුම් 100 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති “චූන් කුරුල්ලා’’ නම් වූ කොල්ලකරුවාව හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කලක් යුද හමුදාවේ සේවය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත. උදේ සහ දිවා ආහාරය සඳහා පලතුරු පමණක් ආහාරයට ගැනීම හේතුවෙන් ඔහුට “චූන් කුරුල්ලා’’ යන නාමය පට බැඳී ඇති බව විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් සඳහන් කරයි. හලාවත, කටාන, මීගමුව, නාත්තන්ඩිය, දංකොටුව, මාරවිල, වාරියපොළ, කුලියාපිටිය, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම් සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ. සැකකරු වැඩි වශයෙන්ම කොල්ලකෑම් සඳහා යොදාගෙන ඇත්තේ බෙදුම් ඉඩම්වල පිහිටි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තීයවේදීන්ගේ සහ විදෙස් ගත වී සිටින අයවළුන්ගේ නිවෙස්වීම විශේෂත්වයකි. පසුගිය දිනක සැකකරු විසින් කටාන ප්‍රදේශයේ පිහිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට අයත් නිවසක්ද බිඳ ඇති බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීහු සඳහන් කරති. සැකකරු සොරකම් කර ඇත්තේ ස්වර්ණාභරණ, දේශීය සහ විදේශීය මුදල් පමණක් වීම විශේෂත්වයකි. සැකකරු සොරකම් කළ කුරුණෑගල අයකුට අලෙවි කර තිබූ රත්‍රන් පවුම් 17ක්ද විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. සැකකරු විසින් විවිධ පුද්ගලයන්ගෙන් ඉල්ලා ගෙන ඇති වාහන 12ක් පමණ උගස් කර ඇති බවද පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ගෙන ඇත. මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදීම සැකකරු විසින් කාලයක් තිස්සේ සිදු කර ඇති බවත්,පසුගිය කාලය තුළ දිගින් දිගටම පරාජයට පත් වීම හේතුවෙන් කොල්ලකෑම් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත. සැකකරු විසින් සියලුම ගෙවල් බිඳුම් සිදුකර ඇත්තේ පෙරවරු 6.00 ත් දහවල් 12.00 ත් අතර කාලය තුළ බවද අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - විලත්තව ප්‍රදේශයේදීය. එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක්ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. හලාවත දිසා අධිකරණයෙන් ලබා ඇති අවසරය මත සැකකරුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව විමර්ශන සිදු කරන නිලධාරීන් සඳහන් කරයි. ජූඩ් සමන්ත -පුත්තලම
 

More News..