brand logo

රට පුරා කොරෝනා අලුත්ම තත්ත්වය

08 October 2020

වැලිසර පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙනුත් කොවිඩ් ආසාදිතයකු වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. වැලිසර ආයතනයේ සේවය කරන 993 කගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඊයේ (7 වැනිදා)ලැබී ඇත. ඒ අතරින් එහි සේවකයකු ආසාදනය වී ඇතැයි හෙළිවී තිබේ. ආසාදිත රෝගියා රෝහල්ගත කර සෙසු පිරිස කර්මාන්තශාලාවේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. වැලිසර නාවික කඳවුරේ නාවිකයන් විසිදෙනෙකු නිරෝධායනය සඳහා මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (07දා) යොමුකර ඇත. නාවික හමුදාවට අලුතින් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයක් ඉකුත් තුන්වැනිදා පැවැත්වී ඇති අතර ඒ සඳහා පැමිණි මිනුවන්ගොඩ පදිංචි ආධුනිකයකුගේ පවුලේ අයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (07දා) තහවුරු වී තිබේ. කාසල් රෝහලේ ගැබිනි මවකටත් ආසාදිතයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගැබිණි කාන්තාවකට වයිරසය ආසාදනය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය. ඇය ගම්පහ ප්‍රෙද්ශයේ පදිංචිකාරියකි. රාජකීය ගොල්ෆ් සමාජයටත් එයි මේ අතර කොළඹ රාජකීය ගොල්ෆ් සමාජීය (Royal Colombo Golf Club) ක්‍රීඩා පිටියෙහි උද්‍යාන අලංකරණ ශිල්පියෙකු ලෙස සේවය කළ අයෙකුගේ දියණියක කොවිඩ්- 19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් අදාළ ක්‍රීඩා සමාජ පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම උද්‍යාන අලංකරණ ශිල්පියාගේ දියණිය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවකි. කටුනායක ගුවන්තොටුපොළෙත් ආසාදිතයෙක් කටුනායක ගුවන්තොටුපොළේ පවිත්‍රතා සේවකයෙකුට කොවිඩ් වැලඳීමත් සමග ගුවන්තොටුපොළේ ආපන ශාලාවකට මුද්‍රා තබා සිව් දෙනෙකු ඊයේ(7දා) නිරෝධායනයට යොමු කර ඇත. එම සිව්දෙනා අතර ගුවන් හමුදා සෙබළෙකුද සිටියි. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ පසුගිය දින කිහිපයේ කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම රෝගියා වාර්තා වී ඇත. පෙරේදා (6දා) පස්වරුවේ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවට අදාළ සීරියල් අංකයට නම් දෙකක් ගත් නිලධාරීන් වරද්දා යැවීම නිසා කොවිඩ් වැලඳුණු පුද්ගලයා සොයා ගැනීමේ අර්බුදයක් පැන නැගී තිබේ. ඉන්පසුව අදාළ පවිත්‍රතා සේවකයන් දෙදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යළිත් වරක් යොමුකර ඇත. එහිදී එක් සේවකයකුට වැලඳී ඇතැයි හෙළිවී තිබේ. ඔහු ආනමඩුවේ පදිංචි කරුවෙකි. මෙම කොවිඩ් ආශ්‍රිතයා වාර්තාවීමත් සමග සෙසු පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇත. මෙම හතරදෙනාට ගුවන් තොටුපොළේ ආපන ශාලාවක මුදල් අයකැමි වශයෙන් සිටින අතර එම ආපන ශාලාවද මුද්‍රා තබා ඇත. අද (08දා) දිනයේත් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීමට නියමිත අතර ගුවන් තොටුපොළේ හාරදහසක පමණ සේවකයන්ගෙන් 1700 ක් මිනුවන්ගොඩ,වේයන්ගොඩ,දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. විදෙස් ලාංකිකයන් රැගෙන ඒම නවතී විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙන ඒමේ කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නැවත දැනුම්දෙනතුරු එම කටයුතු අත්හිටුවූ බව විදේශයන්හි ඇති සියලුම තානාපති කාර්යාලවලට සහ මහකොමසාරිස් කාර්යාලවලට දැනුම්දී ඇතැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය. මේ අතර රටේ පවතින වසංගත තත්ත්වය මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම ඊයේ (07 වැනිදා) දින සිට නැවත දැනුම්දෙන තුරු නවත්වා තිබේ. එසේ වුවද මහජනතාවට අවශ්‍ය වන සියලුම බදු සේවාවන්, සේවා මාර්ගගත ක්‍රමය (e- service) ඔස්සේ ලබාගත හැකිය. කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ (07 වැනිදා) සවස වන විට ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගම්පහ,ගනේමුල්ල,කිරිඳිවැල,දොම්පේ,මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ,වේයන්ගොඩ, මිනුවන්ගොඩ,වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල සහ සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා තිබේ. ගම්පහ වෛද්‍යවරයෙක්ටත් ආසාදනය වෙලා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වූ සේවිකාවන් කිහිපදෙනකුට ප්‍රතිකාර ලබා දුන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකුට ද වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ළමා රෝගී අශංයේ සේවය කරන එම වෛද්‍යවරයා ගම්පහ,උඩුගම්පොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඇඟලුම් කම්හලේ සේවය කරන සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මෙලෙස වයිරසයට ගොදුරුවී ඇති බව තහවුරුවී ඇත. කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග ආණමඩුව, අඩිගම, පුනවිටිය ගම්මානයට ඊයේ (07 වැනිදා) සිට සංචරණ සීමා පනවා ඇත. කොළඹ ප්‍රධාන පෙළේ පෙෘද්ගලික පාසලක සිසුවකුගේ මවට සහ පියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇත. එම මාපිය යුවළ රජය විසින් අනුමත කරන ලද ස්ථානයක ආරක්ෂිත ලෙස රඳවා ඇතැයි විද්‍යාලයේ ජනමාධ්‍ය සන්නිවේදන කණ්ඩායම් ප්‍රකාශ කරයි. එම පවුලේ අනෙකුත් සාමාජිකයන් කිසිවෙකුටත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඔවුන්වද පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවද සන්නිවේදන කණ්ඩායම් පවසයි. රෝහලෙන් පැන ගිය රෝගියා හමු වෙයි රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (06 වැනිදා) රාත්‍රියේ පැනගොස් අතුරුදන්ව සිටි කොවිඩ් ආසාදිත රෝගියා ඊයේ (07 වැනිදා) පස්වරුවේ එම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී සොයාගෙන තිබේ. රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහු හඳුනාගෙන යළිත් රෝහලට ඇතුළත් කර ඇත. පෑලියගොඩ පදිංචි මෙම පුද්ගලයා රෝහලෙන් පැනගොස් සිය සහෝදරියගේ නිවසේ රැඳී සිට ඇත. ඒ අනුව ඔවුන් සියලුදෙනා නිරෝධායනයට ලක්කර තිබේ. මොහුට විරුද්ධව නිරෝධායන නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට නියමිතය. මීවැල්ලාව •සමන් කුමාර - නිකවැරටිය නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයට අයත් මීවැල්ලෑව ප්‍රදේශයේ කාන්තාවක් තම නිවසේම නිරෝධායනයට ලක් කර ඇත. ඇය මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර ඇත. යතුරු පැදියෙන් නිවසට පැමිණ ඇත. ඇගේ පවුලේ මව, පියා සොහොයුරාගේ බිරිඳ සහ කුඩා දරුවකු නිවසේ නිරෝධායනය ලක් කර ඇත. එල්ලාවල •ජනක කස්තුරි - කිරිඇල්ල මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කොට නිවාඩුවට නිවසට පැමිණ සිටි කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එල්ලාවල පහළගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවෙකුට කොවිඩ් 19 රෝගය වැලඳී ඇත. ප්‍රදේශයේ මාර්ග ඇතුළු ජනතාව ගැවසුණු ස්ථානවල ජනශූන්‍ය තත්ත්වයක් දක්නට ඇත. පදියතලාව •ඒ.එම්. වසන්ත අත්තනායක - පදියතලාව පදියතලාව කාඩ්බෝඩ් ඇසුරුම් පෙට්ටි සකස් කරන කර්මාන්ත ශාලාවක සිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට නිතර කාඩ්බෝඩ් පෙට්ටි රැගෙන ගිය ලොරි රියැදුරන් දෙදෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. කොච්චිකඩේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයෙන්ද කොවිඩ් ​වයිරසය ආසාදිතයකු ඊයේ (07 වැනිදා) වාර්තා විය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවක වන ඇයට වයිරසය ආසාදිත බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. ඇය සිය දෙමවුපියන්ද සමග ඉකුත් පළමු වැනිදා සිට කොච්චිකඩේ නිවසකට පැමිණ ඇත්තේ කුලී පදනම මතය. ඇය මේ වන විට රෝහල්ගත කර ඇති අතර දෙමවුපියන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ. නාත්තණ්ඩිය •ජූඩ් සමන්ත - පුත්තලම නාත්තණ්ඩිය සහ කරුවලගස්වැව ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 08 දෙනකුව නිරෝධායනය සඳහා යොමු කර ඇත. දිවුලපිටිය •එච්.එම්. සමන් - අක්මීමන කොරෝනා ​වයිරසය ආසාදනය වී ඇති දිවුලපිටිය ප්‍ර‍දේශයේ පදිංචි ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 23 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කර (06දා) පස්වරුවේ ලැබුණු පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් 09 දෙනකුට කොරෝනා ​වයිරසය ආසාදනය වී ඇත. හොරණ •ඉන්දික සංජීව විතාන - හොරණ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන​යේ සේවයේ නියුතු හොරණ, කන්දහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට නාගොඩ මහ ​රෝහලේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. එම රෝගියා වහාම අයිඩීඑච් රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබේ. ඔහුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරයි. එම හෙදිය සහ දරු දෙදෙනා පීසීඅාර් පරීක්ෂණවලට ලක් කර නිරෝධායනට යොමු කර ඇත. එම හෙදිය සේවය කළ හොරණ මූලික රෝහලේ 5 වැනි වාට්ටුවට මේ වන විට කිසිදු බාහිර පුද්ගලයකුට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන සේ තාවකාලිකව වසා දමා ඇත. •ලක්ෂිත විද්‍යාසේකර - කළුතර බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවකයකු උණ රෝගය වැලඳීම නිසා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඔහු කොරෝනා ආසාදිතයකු බව පෙරේදා (06) තහවුරු කර ඇත. මොහු වයස අවුරුදු 39ක් වූ හොරණ කන්දහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රත්නපුර •සුනිල් පියතිලක- කුරුවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ (7 වැනිදා) වන විට පුද්ගලයන් 100 දෙනකු නිරෝධායනයට ලක්කර තිබේ. ඒ අතර බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළව සමීප ආශ්‍රිතයන් 18 දෙනකු හා විදේශගතව සිට පැමිණි 82ක් වේ. තිස්ස රවින්ද්‍ර පෙරේරා/නයන තරංග ගමගේ/ශිරන්තනි මානවඩු/ශ්‍රියානි විජේසිංහ
 

More News..