brand logo

රට නොවසා වැඩ කිරීමට ජනතා සහාය අපේක්ෂා කරනවා

14 October 2020

  කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමකින් තොරව එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා රජය විසින් ජනතා සහාය අපේක්ෂා කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ පැවැසීය. රජයේ මෙම ඉල්ලීම ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ ඊයේ (13 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. මෙහිදී ‘අරණ’ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ රජය අනුගමනය කරන්නේ චීන මිතුරු ප්‍රතිපත්තියක් නොව නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් බවයි. එහෙත් රටට වැඩිපුර සහාය ලබාදෙන පාර්ශ්ව සමග එක්ව කටයුතු කිරීමට රජය පසුබට නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය. කොවිඩ් -19 ව්‍යාප්තිය පිළිබඳව මෙම හමුවේදී රමේෂ් පතිරණ ඇමැතිවරයා අදහස් පළ කරමින් කියා සිටියේ ලෝකයේ ඉතාම ඉහළින් කොරෝනා අර්බුදය කළමනාකරණය කරපු රටක් විදිහට, වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකිවෙයි කියලා අපි රජයක් හැටියට විශ්වාස කරනවා. රජය විසින් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඊට අදාළ සියලු පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම ඒ වෙනුවෙන් ජනතාවගේ දායකත්වයත් අවශ්‍යයි. විශේෂයෙන්ම රට නොවසා රටේ සාමාන්‍ය ආර්ථික සමාජයීය කටයුතු පවත්වාගෙන යෑමේ විශේෂිත අවශ්‍යතාවක් තියෙනව. එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටේ ජනතාවගේත් සහයෝගය අවශ්‍යයි. ඒ නිසා ඉදිරි කාලය තුළ පෞද්ගලික ස්වස්තතාව පිළිබඳව සැලකිලිමත් වෙමින් සාමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රජයෙන් ලබාදෙන සෞඛ්‍ය උපදේශනවලට අනුගත වෙමින් කටයුතු කරන ලෙස අපි ඉතාමත් කරුණාවෙන් සහ ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රීතව ඇතිවෙලා තිබෙන මෙම කොරෝනා අර්බුදය සම්බන්ධව සහ අදාළ ආයතන හා ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව පරීක්ෂා කිරීමටත් නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව ඔස්සේ අදාළ මූලයන් සොයා ගැනීමට හැකි වෙයි කියලා අපි හිතනවා. දැනට වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය අදාළ පොකුරට කිසියම් සම්බන්ධයක් තියෙන අය බවට බොහොම පැහැදිලිව ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තියෙනවා. අද වන විට මෙම පොකුරේ සමස්ත ​​රෝගීන් සංඛ්‍යාව එක්දහස් තුන්සිය අනූ හතක් ලෙස වාර්තා වී තිබෙනවා. දැනට මේ පොකුර ආශ්‍රිතව පීසීආර්. පරීක්ෂණ විසි හතර දහස් හත්සිය හැත්තෑ අටක් සිදුකර තියෙනවා. දැනට නිරෝධායනය වෙමින් සිටින පිරිස දහදහස් දෙසීය අසූ එකක්. දිනකට පීසීආර් පරීක්ෂණ හත්දාහසක් පමණ සිදුකරනවා. රෝහල් විසි හයක ප්‍රතිකාර පහසුකම් සලසලා තියෙනවා. ඒ නිසා මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජනතා සහාය අපේක්ෂා කරනවා. සාමාන්‍ය ජනතාවට බලපාන ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති වශයෙන් පැනවීමට රජය සූදානම් වෙද්දී විශේෂ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නිරෝධායනයෙන් තොරව රට තුළට ඇතුළුවීමට අවසර ලබා දෙන්නේ කුමන පදනමින් දැයි මාධ්‍යවේදීහු මෙහිදී විමසා සිටියහ. රමේෂ් පතිරණ ඇමැතිවරයා ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේය. වයිරසය පැතිරුණු පළමුවැනි අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යම් යම් තර්ජන ඇතිවුණා. සමහර සමාජ ප්‍රශ්න මතු වුණා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තමයි මේ නීති රාමුව සැකසෙන්නේ. එම නීතිවලින් ජනතාවට විශේෂ අවහිරයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාවගෙ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීමට තමයි නීති පැනවීමේ අරමුණ. දෙවැනි කාරණය රටට පැමිණෙන සමහර තෝරාගත් විශේෂිත දූත පිරිස් නිශ්චිත කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක්වීමෙන් අනතුරුව වෙනත් අශ්‍රිතයින් නොමැතිව සමහර රටවලට සංචාරය කරන අවස්ථා කීපයක් ලෝකයේ වාර්තාවෙලා තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේදී අපත් පරිස්සම් විය යුුතුයි. මෙහිදී කොරෝනා තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරනවා වගේම මෙම රටවල් සමග සුහදතාව පවත්වා ගැනීම පිළිබඳවත් සැලකිලිමත් වෙනව. එම පිරිස්වලට වෙනත් කිසිදු සමාජ සබඳතාවක් නොතිබූ බවටත්, සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කරන බවටත් අපිට සහතික ලබා දී තිබෙනවා. එවැනි නොවැළැක්විය හැකි අවස්ථාවලදී සමහර නියෝජිත පිරිස්වලට අවස්ථාව ලබා දීමට සිදුව තිබෙනවා.’’ මෙහිදී රජයේ විදේශ සහ ආර්ථික ප්‍රත්පත්තිය පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් ‘අරුණ’ ප්‍රශ්න කර සිටියේය. ප්‍රශ්නය - ජයිකා ආයතනයේ ආයෝජන ව්‍යාපෘති වගේම ආසියානු සංවර්ධන බැංකුවේ ආයෝජන ව්‍යාපෘතිත් රජය විසින් අත්හිටුවමින් පවතිනවා. ඒ කියන්නේ ජපානයේ හා බටහිර රටවල ආයෝජන ඉවත් කරමින් රටේ ආයෝජන සඳහා ප්‍රමුඛතාව චීනයට ලබා දෙන්නද රජය සූදානම් වෙන්නෙ? මේ සම්බන්ධයෙන් ලංකාවෙ ඇමෙරිකානු තානාපතිනියත් චෝදනා කළා? පිළිතුර - අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි කිසිවකුටත් ගැති නොවී සිටීම. ඒ කියන්නේ නොබැඳි ප්‍රතිපත්තිය. මෙතැනදී කියවුණා ලබන සතියේ ඇමරිකානු දූත පිරිසකුත් එනව කියලා. අපේ එහෙම බෙඳීමක් නැහැ. විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා ‘ඉන්දියාව අපේ ළඟම මිතුරා’‘ යැයි කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් තියෙනවා. ඒ අනුව ඔය කියන චෝදනා පරස්පරයි. ප්‍රශ්නය - එතකොට ආයෝජන අවස්ථා ලබාදීම සම්බන්ධ තත්ත්වය මොකක්ද? එතැනදී චීනයට ප්‍රමුඛස්ථානය ලැබෙනවාද? පිළිතුර - රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කෙරෙන්නේ ආර්ථික සාධක මත. ඔබ කියන කතාව ඇත්ත. අපිට නොබැඳි ප්‍රතිපත්තිය තිබුණත් කවුරුහරි කෙනෙක්ගෙන් අපිට සාධනීය දේ ලැබෙනවා නම් ඒ කණ්ඩායමත් එක්ක අපි වැඩ කරනවා.’’ ප්‍රශ්නය - මහා මාර්ග ඉදිකිරීම් සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමට රජයට අයත් සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවෙලා තියෙනව. පසුගිය කාලයේ රටේ මාර්ග ව්‍යාපෘති ආශ්‍රිත අක්‍රමිකතා පිළිබඳව විවිධ ආකාරයේ චෝදනා එල්ල වුණා. මේ නව ආයතනය විගණනය වෙනවද? පිළිතුර - මේක රජය සීයට සීයක් කොටස් හිමි ආයතනයක්. ස්වාධීන රූපවාහිනී සේවයත් සීයට සීයක් රජය සතු ආයතනයක්. මෙයත් එවැනි ආයතනයක්. ඒ වායේ නීති පද්ධතියේ යම් ලිහිල් භාවයක් තියෙනවා.’’ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනේදී ඇතැම් සමාගම් විසින් අදාළ පිරිස්වලින් ඉතාමත් අසාධාරණ ලෙස මුදල් අය කිරීම පිළිබඳව ‘අරුණ’ විමසා සිටියේය. ප්‍රශ්නය - මම ඒ ආයතනවල නම් සඳහන් කරන්නේ නැහැ. නමුත් අතැම් සමාගම් තවමත් රුපියල් ලක්ෂ තුනකට වඩා වැඩි මුදලක් අය කරමින් විවිධ බලපෑම් කරමින් ශ්‍රී ලාංකිකයන් රට තුළට රැගෙන එනවා. නමුත් ගුවන් යානා තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ නැහැ. නිරෝධායනය සඳහා රඳවා තිබෙන හෝටල් සඳහා වෙනම මුදල් අයකිරීම් සිදු කෙරෙනවා. මේ අසාධාරණ තත්ත්වය සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්නේ නැද්ද? පිළිතුර - මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනව. මෙවැනි අක්‍රමිකතා තියෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා කටයුතු කිරීමට තීන්දු කරනවා.’’ මෙහිදී මාධ්‍යවේදියකු හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නට ස්ථාන මාරුවක් ලබාදීම පිළිබඳව විමසා සිටියේය. ප්‍රශ්නය - හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න තනතුරින් පහත දමල කන්කසන්තුරේට මාරු කළා. ඊට පස්සේ අද පොලිස් මූලස්ථානයට මාරු කරලා. කිසිම සිදුවීමකට මේ රජ්‍ය නිලධාරීන් සම්බන්ධ නැහැ. ඔවුන් කරන්නේ ඔබතුමා වගේම ලියල දෙන දෙයක් කියවන එක. එහෙම කියෙව්වයින් පස්සේ ඔබතුමාට චෝදනා පත්‍රයක් ලබාදීලා කටයුතු කිරීම හෝ නිලයෙන් පහත හෙළීම සාධාරණද? පිළිතුර - (කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති වරයා) - මේක ඔබ වැඩබලන පොලිස්පතිවරයාගෙන් විමසිය යුතු ප්‍රශ්නයක්. නයන තරංග ගමගේ
 

More News..