brand logo

රට දිනවීම හැර වෙනත් අරමුණු අපට නෑ - දයාසිරි ජයසේකර

12 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති සාකච්ඡා මේ වන විට අවසන්ව දෙපාර්ශ්වය සන්ධානගතව සිටියි. ඊට අදාළ ගිවිසුමට ඉකුත් දා අත්සන් තැබිණි. එලෙස අත්සන් තැබුණේ ද ප්‍රශ්නාර්ථයක් ශේෂ කරමිනි. එනම් ගිවිසුමේ කරුණු ප්‍රසිද්ධියට පත් නොවීම තුළ ය. බෙර හඬ මධ්‍යයේ අත්සන් තැබුණු ගිවිසුමේ අන්තර්ගතය තවදුරටත් ප්‍රසිද්ධියට පත් නොකිරීමේ හේතුව කවරේ ද? මේ පිළිබඳවත් සන්ධානගත වීම සම්බන්ධයෙන් එල්ල වෙමින් පවතින විරෝධයන් හා සන්ධානගත වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සමග කළ සංවාදයක සටහනකි මේ..... පොහොට්ටුව ලාංඡනය වෙනස් කර ගන්න කළ සටනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුණා නේද? පරාජය වීමක් ලෙස මේ එකඟතාව අර්ථ දැක්වීම නිවැරදි නැහැ. අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා ගත් තීරණයක් මේ. පොහොට්ටුව ලාංඡනය වෙනස් කරන්න හැකි වුණා නම් වඩා හොඳයි. නමුත් දිගින් දිගට ම කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මේ තීරණයට එන්න සිද්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන සටනක් කළත් පොදුජන පෙරමුණ පොහොට්ටුව ලාංඡනය වෙනස් නොකරන ස්ථාවරයක හිඳිමින් කටයුතු කළේ. ඔවුන් වරින් වර ඒ බව ප්‍රකාශ කළා. අනාගතයට ශේෂ වන්නේ මෙවන් තත්ත්වයක් බව අවබෝධ වුණේ නැද්ද? අපිට අවශ්‍ය වුණේ කොහොම හරි ලාංඡනය වෙනස් කරගෙන එකඟතාවකට එන්න. නමුත් කරන්න දෙයක් නැහැ. රට ගැන හිතලා පාක්ෂිකයන් ගැන හිතලා මේ තීරණය ගන්න සිදු වුණා. ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තිරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලයි කලින් කිව්වේ. ඒ ප්‍රකාශ තවදුරටත් වලංගු ද? අපි අදත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයෙදි තීරණාත්මක සාධකය බවට පත්වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ ඒ අනුවයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් එතුමා අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරනවා. එහෙම ශක්තියක් තිබෙනවා නම් ඇයි පොහොට්ටුව ඉදිරියේ දණ ගැහැව්වේ. ස්වාධීන තීරණයක් ගන්න හැකියාව තිබුණනේ? අපිට ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාව තිබුණා. නමුත් එවැනි තීරණයක් ගැනීමෙන් මේ රටේ බලයට පත් නොවිය යුතු පුද්ගලයකුට බලයට එන්න ඉඩ හැදෙනවා. එය වැළැක්වීමේ වුවමනාව මතයි අපි මෙවැනි තීරණයකට ආවේ. මේ තීරණය තනිව ගත් තීරණයක් නෙවෙයි. විශාල අදහස් ප්‍රමාණයක්  එකට ගැටිලයි මේ තීරණයට ආවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් අනන්‍යතාවක් ලැබෙයි ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව ඇතුළෙ දියවෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි සහාය දෙන්නේ ජනාධිපති අපේක්ෂකයාට පමණයි. කිසිම විධියකින් පොදුජන පෙරමුණට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් පාවා දෙන්න අපි සූදානම් නැහැ. ඒ බවට අපි සහතික වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමානයි. එකඟතාවට එන්න ඒ කරුණුත් බලපෑවා. පොදුජන පෙරමුණ සමග එකතු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ප්‍රකාශයට පත් කරන්න දින කිහිපයක් ගත්තේ ඇයි? මධ්‍යම කාරක සභාව නියෝජනය කරන්නේ එහි සාමාජිකයන් පමණයි. ඉතින් අපිට සිද්ධ වුණා මධ්‍යම කාරක සභාව නියෝජනය නොකරන පක්ෂ සාමාජිකයන් දැනුවත් කරන්න. ඒ අය සමග අදහස් හුවමාරු කර ගන්න. ඒ නිසයි තීරණය රටට කියන්න දින කිහිපයක් ගත්තේ. ජනාධිපතිවරණයෙදි ජනාධිපතිවරයා ස්වාධීන වෙන තීරණය ගත්තේ මධ්‍යම කාරක සභාවෙදි ද නැත්නම් තනිව ගත් තීරණයක් ද? මධ්‍යම කාරක සභාවෙදිත් ඒ ගැන සාකච්ඡා කළා. ඉන් පසුවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි ජනාධිපතිතුමා ස්වාධීන වන තීරණය ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, පොදුජන පෙරමුණු දීගයට නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා එකඟ ද? මන්ත්‍රීවරු සියලු දෙනා එකඟයි. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විරුද්ධයි? එතුමා දැන් වෙනමනේ කටයුතු කරන්නේ. අපි හිතනවා ඉදිරියේ දී එතුමාත් අපි සමග එකතු වෙයි කියලා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විරෝධය ගැන මොකද හිතන්නේ? එතුමිය සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බිම් මට්ටමේ පාක්ෂිකයින්? බිම් මට්ටමේ පාක්ෂිකයන් අතර විවිධ අදහස් මතිමතාන්තර පවතිනවා. පක්ෂය පොදුජන පෙරමුණ සමග එකතු වීම ගැන සමහර අය විරුද්ධයි. සමහර අය කැමැතියි. ඒ සියලු දෙනා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. සියලු දෙනා එක් මතයකට ගන්න උත්සාහ කරනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙදි බිම් මට්ටමේ පාක්ෂිකයින් පොහොට්ටුවට  විරුද්ධව කටයුතු කළ නිසා පොහොට්ටුව ලාංඡනය සමග එක් වීම ගැටලුවක් බවයි කලින් කිව්වේ? ඔව්. එවැනි ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මේ වෙලාවේ පක්ෂය ගත් තීරණය සමග ඔවුන් කටයුතු කරයි. දැන් සියලු දෙනා ම තීන්දුව හරි අතට ම ගනීවි ද? එහෙම හිතනවා. එහෙම හිතුවට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරුකීමේ වෙනම සංවිධානයක් බිහි වෙලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ සංවිධායකයන් ඉන්න සංවිධානයක් ඒක. ඔවුන් සංවිධානගත වුණේ මීට බොහෝ කලකට කලින්. සුරැකීමේ සංවිධානය තීරණාත්මක නැද්ද? නැහැ එය තීරණාත්මක නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් බෙර ගහලා අවබෝධතා ගිවිසුමක්  අත්සන් කළා. ඇයි ඒ ගිවිසුම ජනතාවට හංගන්නේ? අපි අතරේ අත්සන් කළ ගිවිසුම ජනතාවට හංගන්නේ නැහැ. ලබන සතියේ දී ගිවිසුම ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා දෙපාර්ශ්වය ම ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න නියමිතයි. ගිවිසුමේ කරුණු ගැන සැකෙවින් සඳහන් කළොත්? මම මේ වෙලාවේ ඒ කරුණු ප්‍රකාශ කිරීම එතරම් හොඳ නැහැ. රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක්  තමයි අන්තර්ගත වෙන්නේ. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම, නීතිය සාමය ආරක්ෂා කිරීම, එක් නීතියක් රට තුළ ක්‍රියාත්මක කිරීම වැනි කරුණු එහි අන්තර්ගතයි. අපි සන්ධානගත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යන නාමය යටතේ . ලාංඡනය පුටුව. පුටුව  යටතේ ඉදිරි පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන යන සියලු මැතිවරණවලට ඒ ලකුණෙන්  ඉදිරිපත් වෙනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නේ කවදා ද? යළිත් ඒ සඳහා පක්ෂ සම්මේලනයක්  කඩිනමින් ම කැඳවනවා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරනවා. ජනාධිපතිවරණයෙන් පසු  දෙපාර්ශ්වය අතර තත්ත්වය කුමක් වෙයිද? ජනාධිපතිවරණයෙන් පසු අපි නව ආණ්ඩුවක් පිහිටුවනවා. ශ්‍රී ලංකා  පොදුජන නිදහස් සන්ධානය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි තැන? ඉදිරියේ දී පිහිටුවන සන්ධාන මධ්‍යම කාරක සභාවේ සංයුතියෙන් සියයට තිස් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සියයට පනස් එකක් පොදුජන පෙරමුණටත් හිමි වෙනවා. ඉතිරිය සෙසු පක්ෂවලට හිමි වෙනවා. සන්ධානයේ නායකත්වය? අපි දෙපාර්ශ්වය එකඟ වුණේ සම නායකත්වයන්ට. ඒ කියන්නේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් සම නායකයන් ලෙස පත් කෙරෙනවා. ඉදිරි මැතිවරණවල දී දෙදෙනාගේ ම නායකත්වයෙන් අවශ්‍ය කටයුතු සිදු වෙයි. කැබිනට් මණ්ඩලය 30කට සීමා වෙයිද? අනිවාර්යයෙන් ම. කැබිනට් මණ්ඩලය තිස් දෙනකුට සීමා කිරීමට දෙපාර්ශ්වය එකඟ වෙලා තියෙන්නේ. ඒ අනුව කටයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනවා. එහෙම නොවුණොත් ? එහෙම නොවී තියෙන්නේ නැහැ. අවබෝධතා ගිවිසුම් අනුව කටයුතු කිරීම අවශ්‍යතාවක්. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇමැති ධුර ලැබෙනවා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු තනතුරක් අපේක්ෂා කරන්නේ නැහැ. මේ මොහොතේ අවශ්‍යතාව අනුවයි සන්ධානගත වුණේ. රට ඉදිරියට ගෙන යාමේ අරමුණ හැර වෙනත් අරමුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  නැහැ. නිලන්ත මදුරාවල ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
 

More News..