brand logo

රට ගිහින් කෝටි 27 ක පෑනකින් ලියනවද නැතිනම් ලංකාවේ ලක්ෂ 16 ක පෑනකින් ලියනවද?

04 February 2019

පාන් කියා ගන්නත් මිනිසුන්ට සල්ලි නැති රටේ ලක්ෂ 16 යේ පෑන් විකිණේ!

කැමරාව ආවම චිත්‍ර කලාව නැතිවෙනවලු! ෆේස්බුක් ආවම පත්තර නැතිවෙනවලු!

ටයිප්රයිටරේ, කොම්පියුටරේ ආවම අතින් ලියන පෑන නැතිවෙලා යනවලු!

මේ රටේ ප්‍රසිද්ධ කියමන් කීපයකි. එහෙත් මේ කිසිවක් සිදු වූයේ නැත. චිත්‍ර කලාවට, පත්තරයට මෙන්ම පෑනටද අලුත් උරුමක්කාරයාට ඉඩදී වළපල්ලට යන්නට සිදු වූයේ නැත. මේවා නැතිවෙනවා වෙනුවට වූයේ විවිධ මුහුණුවරෙන් තවදුරටත් සමාජයේ රැඳී සිටීමයි. පත්තර ලෝකයේ අපට නම් මොන පරිගණක ආවත් පෑන තරම් ‘හිතට අල්ලන’ අවියක් තවත් නැත. පෑන මෙරට මෙන්ම ලොව පුරා සෑම ක්ෂේත්‍රයකම සිටින බාල, මහලු කාටත් අත්‍යවශ්‍යම අංගයකි. අන්තිම කැමැති පත්‍රය මෙන්ම මරණ සහතිකය අත්සන් කරන්නටද අවසානයේ පිහිටට එන්නේ මේ පෑන බව අප අමතක නොකළ යුතුය. කාබන් පෑන එන්න කලියෙන් අපේ රටේ මෙන්ම ලෝකයේම රජ කළේ ෆවුන්ටන් පෑන්ය. එහෙත් ආණ්ඩුව අලුතෙන් පනවන ‘කාබන් බද්ද’ එහෙම කාටත් පෑන් සමග ඔබ පටලවා නොගත යුතුය. ෆවුන්ටන් පැනේ නිර්මාතෘවරයා ලෙවිස් වෝටර්මෑන්ය. වෘත්තියෙන් මෑන් රක්ෂණ ප්‍රවර්ධකයකු විය. ඔබ දකින ෆවුන්ටන් පෑන නොහොත් තීන්ත දාන පෑනට අවුරුදු 136 ක ඉතිහාසයක් තිබේ. වෝටර්මෑන් නිර්මාණය කළ පෑන ‘ද රෙගියුලර්’ නම් වූ අතර එය නිපදවන ලද්දේ ලීවලින් නිමවූ බඳකිනි. වෝටර්මන්ගේ මරණය සිදු වූ 1901 වන විට ඔහුගේ පෑන් කර්මාන්ත ශාලාව දැවැන්ත කර්මාන්තශාලාවක් වී හමාරය. නමුත් ලෝකයේ ජනප්‍රියතම පෑන් වර්ගය බවට ‘වෝටර්මන් පෑන්’ කොම්පැනිය බවට පත් කරන ලද්දේ වෝටර්මන්ගේ බෑණා වූ ෆ්‍රෑන්ක්ය. ෆවුන්ටන් පෑනේ මුල් ආකෘතියට පාදක කොටගෙන තිබුණේ පිහාටු පෑනය. පිහාටුවේ මැද බන්ඩිය මෙන් ඇති නාරටියට තීන්ත පුරවා මුලින් පෑන් ලෙස යොදා ගෙන ඇත. එහෙත් පරහකට හිටියේ තුඩෙන් ගලා එන තීන්ත ගලා ඒම පාලනය කොටගත නොහැකි වීමය. ෆවුන්ටන් පැනට තුඩක් හඳුන්වා දුන්නේ මේ ගැටලුවට විසඳුමක් ලෙසය. ෆවුන්ටන් පෑනක කොටස් තුනක් ඇත. තුඩ නොහොත් NIB එක, තීන්ත පුරවන කොටස හා බඳ නොහොත් බැරල් එක මේ කොටස් තුනය. පෑනක වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකය එහි තුඩ හා බඳ නිමවීමට යොදා ගන්නා ලෝහයයි. ලොව මිල අධිකම පෑන් නිමවා ඇත්තේ රත්‍රං හා ප්ලැටිනම්වලිනි. ඒවායේ වටිනාකම වැඩිකරන්නට කෝටි ගණන් වටිනා දියමන්ති, මුතු, මැණික් ඔබ්බවන පෑන්ද ලොව අලෙවියට ඇත. මුල් කාලයේ සල්ලිවලට කරන්නට දෙයක් නැති කෝටිපතීන් පෑන් තුඩද රත්‍රංවලින් ඉල්ලා සිටීම නිසා මුළු පෑනම රත්තරනින් නිමවන්නට සිදු විය. එහි තීන්ත පුරවන කොටසට පවා ප්ලාස්ටික් නොයෙදූ කැරට් 22 රත්‍රන් නිපයූ අවස්ථා ද විය. එහෙත් භාවිත කරන විට රත්‍රං පෑන් තුඩ කෙමෙන් මෘදු බවට පත්වෙමින් තීන්ත බොඳවීමට පටන්ගත් නිසා ඉන්පසුව පෑන් තුඩ සඳහා යොදා ගන්නා ලද්දේ ඉරිඩියම් (Iridium) මිශ්‍ර කිරීමෙන් පසුවය. ලංකාවේ නම් වටිනා පෑන කියූ සැණින් අපේ මතකයට එන්නේ පාකර් (Parker) පෑනය. එහෙත් ලොව වටිනාම පෑන් 10 අතරට වත් පාකර් පෑන එන්නේ නැති බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. මෙරට සිංහල බයිස්කෝප්වලද පෑන් සම්බන්ධ සිදුවීම් එකල දැකගත හැකි විය. මීට වසර 50 කට පමණ පෙර නිපදවූ චිත්‍රපටයක දර්ශන පෙළක් මේ ගැන ඇත. ප්‍රධාන නළුවා රජයේ සේවයෙන් විශ්‍රාම යන දින ඔහුට කාර්යාලයෙන් විශාල තෑගි පෙට්ටියක් ලැබේ. ගෙදර ගොස් දැවැන්ත තෑගි පෙට්ටිය තැබූ විට පෙට්ටිය විවර කරන්නේ බිරිඳය. පෙට්ටිය ඇතුළේ තවත් පෙට්ටියකි. ඒ පෙට්ටිය අැතුළේ තවත් පෙට්ටියකි. මෙසේ පෙට්ටියෙන් පෙට්ටිය ඉවත් කළ විට ඉතා කුඩා පෙට්ටියක් අවසන ලැබේ. ‘‘මේ ඔයාගේ ඔෆිස් එකේ මීට මාසයකට විතර කලින් නැතිවෙච්ච ෆවුන්ටන් පෑනනෙ මුන් ඔයාටම තෑග්ගට දීලා තියෙන්නේ.’’යි බිරිඳ වියරු වැටී පවසයි. ලංකාවේ පෑන් හදන්නට මුල් අඩිතාලම දැමූ එක් පුද්ගලයකු නම් ඩී. එස්. මදනායකය. ඔහු 1959 සැප්තැම්බර් 29 දා ආරම්භ කළ කොම්පැනියේ නම ලංකා පැන්සල් සමාගමය. ඒ වන විට ලංකාවේ වෙළෙඳපොළ රජ කළේ එංගලන්තයෙන්, ජර්මනියෙන් ආනයනය කළ වීනස් වැනි පැන්සල්ය. මදනායක මහතා පෑන් නිෂ්පාදනයට පිවිසෙන්නේ සමගි පෙරමුණ ආණ්ඩුව පැවති 1970 යුගයේදීය. මෙම ව්‍යාපාරයේ හදපු පෑනට දාපු නම ‘වාසිටි’ය. පසුව ඇට්ලස් කොම්පැනිය බවට පත් වූයේ මේ කොම්පැනියය. සියල් පැනද මෙරට ජනතාව අතර කලක් ජනප්‍රිය පැනකි. එහි නිෂ්පාදකයා වූයේ බයිස්කෝප් කොම්පැනියක් වූ සිනමාස්ය. කේ.පී. ඉන්ඩස්ට්‍රිස් එම කොම්පැනියේ නම විය. අසූව දශකය තුළ ඔරෙක්ස් නම් පෑනක් වෙළෙඳපොළ ජයගෙන තිබූ අතර, එය පුවෙල් ආට්ස් නිෂ්පාදනයක් විය. මෙරට රෙනෝල්ඩ්ස් නමින් පෑනක් වෙළෙඳපොළ ආක්‍රමණය කරන්නේ ඉන් පසුවය. ‘බිම වැටුණත් රෙනෝල්ඩ් යසට ලියයි රෙනෝල්ඩ්ස්’ ඔවුනගේ වෙළෙඳ පාඨය විය. දැන්වීම අසා ඇතැමුන් පෑන් තුඩ බිමට වැටෙන ලෙස බිම දමා ලිවීමට උත්සාහ කිරීම නිසා පෑන් කොම්පැනියේ බිස්නස් සරු විය. නමුත් අද වන විට මෙරට තවත් පෑන් නිෂ්පාදනයේ ආයතන කීපයකම නියැළී සිටී. ඒ අතරම චීනයෙන් මෙරටට නීත්‍යනුකූලව හා නීති විරෝධී අන්දමින් ගෙනෙන අඩුමිල පෑන් සමග ඔවුනට සටන් වැදීමට සිදු වී ඇත. අසූඅට දේශප්‍රේමී භීෂණ සමයේ දී කැරලිකරුවන් මර්දනය කරන ප්‍රධාන අවියක් වූයේ පෑනය. ඒ ලිපි ලියන්නට නොවේ. තරුණයන්ගේ කනට තබා කන සිදුරු වී යන ලෙස ලේ පෙරාගෙන යන්නට ගසන්නටය. මේ පිංකමේ නිර්මාතෘවරයා පසුගියදා අපෙන් සමු ගත්තේය. මේ පොලිස් ලොක්කාගේ පෑන් කෙළිය ගැන විදේශීය පුවත්පත් පවා එදා වාර්තාකොට තිබුණි. විවිධාකාර අවශ්‍යතා වෙනුවෙන් මෙලොව පෑන් නිපදවා තිබේ. අභ්‍යවකාශයේදී භාවිත කරන්නට ෆිෂර් සමාගම නිපදවූ පෑන ඉන් සුවිශේෂී එකකි. එමෙන්ම ක්‍රෝත් සමාගම මිනිසා සඳමත පා තැබීම වෙනුවෙන් නිකුත් කළ Appalo - 2 නමැති පෑනද පෑන් එකතු කරන්නන් අතර වැදගත් කෞතුක භාණ්ඩයක් වී ඇත. එමෙන්ම විවිධ සිද්ධි හා ලෝක නායකයන් වෙනුවෙන්ද සිහිවටන පෑන් නිකුත් වී ඇත. මේ එක් පෑනක මිල ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3 ඉක්මවයි. නෙල්සන් මැන්ඩෙලා, අර්නස්ට් හෙමිංවේ, ඇලෙක්සැන්ඩර් ඩූමා, ෂේක්ස්පියර් මෙන්ම ලොවට අඩි උස සපත්තු හඳුන්වා දුන් සුරූපී නිළියක වූ මර්ලින් මොන්රෝටද වෙනම පෑන් නිපදවා තිබේ. ලෝකය කෙතරම් තාක්ෂණිකව දියුණු වුවත්, මීට වසර 7 කට පෙර සොයාගත් ඉලෙක්ට්‍රොනික් පෑන වෙළෙඳපොළ ජය ගත්තේ නැත. ඉලෙක්ට්‍රොනික් පෑන සඳහා භාවිත කළ යුත්තේ ඒ සඳහා නිපදවූ ඒ - 4 ප්‍රමාණයේ කුඩා තිත් පෙළක් මුද්‍රිත කඩදාසිය. ඔබ ඉලෙක්ට්‍රොනික් පෑනෙන් මේ විශේෂ කොළයක ලියත් දී පෑන ඒ අකුරු හඳුනාගෙන එම දත්ත ගබඩා කර ගැනීම සිදු වේ. ඒ ඉලෙක්ට්‍රොනික් පෑනට එක්වන දත්ත පරිගණකයට යොමු කරමින් වර්ඩ් (Word) හෝ පීඩීඑෆ් (PDF) මගින් ප්‍රින්ටරයකට යොමුකොට පිටපත් ලබා ගැනීමේ හැකියාව ඇත. ඉලෙක්ට්‍රොනික් පෑන ලොව ප්‍රචලිත වූවා නම් යන යන තැන්වල හොණ්ඩර ගාණක් බර නෝට් බුක් අරගෙන යන්නට සිදු වන්නේ නැත. අපේ රටේ නම් බොහෝ දෙනා වටිනා පෑන් කියූ විට හිතන්නේ පාකර් පෑන් ගැනය. එහෙත් ලොව වටිනාම පෑනේ වටිනාකම අැසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. මෙම පෑන ලොව වසරකට අලෙවි කරන්නේ එක් පෑනක් පමණි. මෙහි බඳෙහි ඔබ්බවා ඇත්තේ දියමන්ති වීම විශේෂත්වයකි. අවුරෝරා ඩයමන්ඩ්’ නම් වූ මෙම පෑන ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බැලුවොත් (ඩොලරය = රු. 184) එහි වටිනාකම කෝටි 27 කට අධිකය. ලොව දෙවැනියට වැඩිම මිලකට අලෙවිවන පෑන් වර්ගය ‘මිස්ටර් මාස්ටර්පියස්’ය. එහි මිල කෝටි 13 කටත් වැඩිය. ලොව වැඩිම මිලකට අලෙවි වන තුන්වැනි පෑන නිපදවන්නේ ස්විස් කොම්පැනියකි. එම පෑන් වර්ගය ‘වොඩර්නිස්ටා ඩයමන්ඩ්’ නම් වන අතර එහි අලෙවි මිල කෝටි පහකට ආසන්නය. ඔබටත් මේ පෑනක් මිලදී ගැනීම අවශ්‍ය නම් එංගලන්තයේ ‘හැරඩ්ස්’ සුපර් මාරකට්ටුවෙන් මිලදී ගත හැකිය. හැරඩ්ස් සාප්පුවේ අයිතිකරුවගේ පුතා බඳින්නට හිටියේ ‘ඩයනා’ කුමරිය බව කිව යුත්තේ ඇය වෙනුවෙන්ද පෑනක් නිකුත් වී තිබෙන නිසාය. ලොව වටිනාම පෑන් අතර ඇති දහවන පෑන ‘‘කෲ සික්ස්ටියත්’ය. එහි වටිනාකම නම් රුපියල් හැත්තෑහතර ලක්ෂයක් වැනි සොච්චම් මුදලකි. අපට අවසන් වශයෙන් සොයා ගැනීමට අවශ්‍ය වූයේ මේ කෝටි ගණන් වටිනා පෑන් ලංකාවේ මිලදීගත හැකිද යන පැනයයි. එහිදී අපට දැකගත හැකි වූයේ වසරකට එක් පෑනක් අලෙවි කරන අවුරෝරා ඩයමන්ඩ් පෑන නම් මිලදී ගන්නට පොරොත්තු ලේඛනයක් ඇති බවය. නමුත් අනෙකුත් පෑන් ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව ඇත. ලංකාවේ මිලදී ගැනීමට තබා ඇති වටිනාම පෑන් හොයන්නට අපට මුළු කොළඹම පීරන්නට සිදුවිය. අවසානයේ අපට ජර්මනියේ නිපදවූ පෑනක් සොයා ගත හැකි මිය. එහි මිල මිලියන 1.6 ක් නොහොත් රුපියල් ලක්ෂ දාසයකි. මේ පෑනට ඇති අලෙවිය ගැන ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත්තේ ලංකාවේ දුප්පතුන් සිටීදැයි ප්‍රශ්නයක් තමන්ගෙන්ම අසමිනි. අවසානයේ කිව යුතුව ඇත්තේ මේ ලිපිය කියවූ ධනවතකු ත්‍යාගයක් ලෙස ලක්ෂ 16 ක පෑනක් එව්වොත් එය භාර ගන්නේ මේ පෑන හොයන්නට දරපු මහන්සියට උපහාරයක් ලෙසය. වජිර ලියනගේ
 

More News..