brand logo

රට ආරක්ෂා කිරීමට බලය ඉල්ලන පුද්ගලයන් පිස්සු සුනඛයන් මෙන් හැසිරෙන්නේ - මහින්ද

24 October 2019

ප්‍රජාතන්ත්‍රවාදීව යැයි කියමින් රට ආරක්ෂා කිරීමට බලය ඉල්ලන පුද්ගලයන් පිස්සු සුනඛයන් මෙන් හැසිරෙන්නේ නම් ඔවුන්ට වගකීමක් ලබා දෙන්නේ කෙසේදැයි ගැටලු සහගත යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. සුනඛයකු මෙන් රට ආරක්ෂා කරන පුද්ගලයාට පිස්සු වැටුනොත් පිස්සු වැටුණු සුනඛයකු මෙන් හැසිරෙන බවත් දැනටමත් ඔවුන්ගේ ගෝලබාලයන් රැස්වීම් වලට එන තරුණයන්ට පවා පහර දෙමින් හැසිරෙන්නේ පිස්සු සුනඛයන් මෙන් යැයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණීමෙන් අනතුරුව අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය. මහනුවරට පැමිණ ශ්‍රී දළඳා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මල්වතු මහා විහාරයට ගොස් එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුහ. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදැකීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්හ. අනතුරුව ඒ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් සහ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේද බැහැ දුටුහ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර යැයි කී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය පිලිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ විවිධ චෝදනා ලැබූවන් සිටිනවා. චෝදනා ලැබූවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන පරීක්ෂණ වාර්තා පක්ෂග්‍රාහී යි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනප්‍රිය වෙමින් ජයග්‍රහණය කරා ළංවන විට විරුද්ධවාදීන් සිදුකරන්නේ විවිධ චෝදනා කරමින් අධිකරණමය ක්‍රියාමාර්ග ඔස්සේ හෝ ඔහුගේ ගමන වැළැක්වීමටයි. ඔවුන්ට පවතින තර්ජනය ඔවුන් මුල සිටම දුටුවා. ජනතාව බොරු ප්‍රචාරවලට හසු නොවිය යුතුයි. තව කලක් ගතවන විට තව තවත් බොහෝ බොරු ප්‍රචාර පතුරුවා හැරීම සිදු වෙනවා. අපේක්ෂකයා බලාගෙන සිටියදී තරුණයකුට පහර දෙනවා අපි මාධ්‍ය තුළින් දැක්කා. තමන්ගේම පක්ෂය මැර දේශපාලනය හඳුන්වාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මහනුවර හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහනුවර හිටපු පුරපති මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
 

More News..