brand logo

රට ආගාධයට යද්දි ගෝඨාභයගේ ජයග්‍රහණයට පෙරගමන්කරු වුණේ සංඝරත්නය

20 February 2020

පන්සල් පල්ලි කෝවිල් වැනි ආගමික ස්ථානවල සාම විනිසුරු පත්වීම් ලබා දීම තුලින් ජනතාවට විශාල සේවයක් ලබා දිය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ සාම විනිසුරුවරුන් 200 දෙනෙකු සදහා පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවකට ඊයේ (19) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය. මේ රට අගාධයට යන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සදහා පෙර ගමන්කරුවන් වුණේ ගෞරවණිය මහා සංඝ රත්නයයි. උන් වහන්සේලා නොසිටින්න මේ රට අගාධයකට ඇද දමන්න ඉඩ තිබුණා. එය ආපසු හැර වුයේ මහා සංඝ රත්නයයි. සෑම විහාරස්ථානයකටම සාම විනිසුරු පත්වීම් ලබා දිය යුතු බවට මා විශ්වාස කරනවා. එමෙන්ම පන්සල්වලට මෙන්ම පල්ලි කෝවිල් වැනි අන්‍ය ආගමික ස්ථානවලට ද සාම විනිසුරු පත්වීම් ලබා දීම තුලින් ඒ වටා සිටින ජනතාවට විශාල සේවයක් පුළුල් ලෙස ලබා දිය හැකියි. ඒ තුළින් අපි ආගමික ස්ථාන ශක්තිමත් කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේය. විශේෂයෙන් සාම විනිසුරු පත්වීම් ලබා ගන්නා ඔබ ගමේ වැදගත් පෞරුෂයක් සහිත අයෙක් නිසාම ඔබට නීතිමය බලයක් නොමැති වුව ද එම ආරවුල් නිරාකරණයට හැකි වන පරිදි වටපිටාවක් සකස් කර ගත යුතුයි. අතීතයේ සාම විනිසුරු තනතුරට විශාල ගෞරවයක් තිබුණා. එම තත්වය යළිත් ඇති කිරීමට මෙම පත්වීම් ලබන ඔබ කටයුතු කළ යුතුයි. සාම විනිසුරුවරයෙකු වශයෙන් පත්වීම් ලබන ඔබ ප්‍රදේශයට ආදර්ශවත් ජීවිතයක් ගත කිරීම වැදගත් වෙනවා. ගමේ තිබෙන සුළු සුළු ආරවුල් විසදීමට හැකියාව පැවතිය යුතුයි. මේ පදවියේ ගරුත්වය සුරක්ෂිත වන පරිදි ඔබ කටයුතු කළ යුතු අතර එහි ගෞරවය රැකෙන පරිදි හැසිරීමේ සීමා ඇති කර ගැනීමට ඔබ වග බලා ගත යුතුයි. ඔබ සාම විනිසුරුවරයෙකු ලෙස ආදර්ශමත්ව ජීවත් නොවුනහොත් එය සමස්ත සාම විනිසුරුවරුන්ටම වන හානියක් බව අවබෝධ කර ගත යුතුයි. මෙම පත්වීම් ලබා දෙනු ලබන්නේ ඔබ පිළිබදව කරනු ලබන පුර්ව නිගමනයකින් පසුවයි. පොලිස් වාර්තා ලබා ගනු ලබන්නේත් ඒ හේතුව නිසාමයි. මෙම සාම විනිසුරු පත්වීම ලබා දෙනවා සේම එය අහිමි කිරීමේ හැකියාව ද මෙම අමාත්‍යාංශය සතුයි. ඒ නිසා ඔබ ඉතා කල්පනාකාරීව සමාජයට අහිත කර කටයුතු සිදු නොකර ක්‍රියා කළ යුතු වෙනවා. මෙම පත්විම ලබා දෙන්නේ මුදල් ඉපයීම සදහා නොව සමාජයට සේවයක් සිදු කිරීම සදහායි. ඔබ කරන ලද සේවය තවදුරටත් පුළුල් ලෙස සිදු කිරීම සදහා මෙම සේවය යොදා ගත යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේය. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක් විය.    
 

More News..