brand logo

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන් නොව අධ්‍යාපනඥයන් විසින් ගතයුතුයි - ජනපති

12 April 2019

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක් දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන් එක්ව රට තුළ මතු කළ යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය අද රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවයි. ජනපි‍්‍රය පාසල් යන සංකල්පය ඉලක්ක කර ගනිමින් 05 වසර ශිෂ්‍යත්වය තුළ ඇතිව ඇති තරගකාරිත්වය රටේ දරුවන්ගේ අධ්‍යාපනයට යහපත් තත්ත්වයක් නොවන අතර මෙම තත්ත්වය රටේ දරුවන් වෙනුවෙන් කඩිනමින් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය. ජනප්‍රිය පාසල් සහ හොඳම පාසල් යන සංකල්පය තුළ අද රටේ දරුවන්ට අධ්‍යාපනයේ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර විධිමත් අධ්‍යාපන සැලැස්මක් තුළ සියලූ පාසල් හොඳම පාසල් බවට පත් කරමින් රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතින් දිනා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් සිටියේ ය. ගුරු ගැටලූව හේතුවෙන් අධ්‍යාපනයේ සිදුව ඇති විෂමතාවය පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ගුරු ගැටලූව විසඳීමට ද විධිමත් ප‍්‍රතිපත්තියක් පිළිබඳ කඩිනම් අවධානය යොමු විය යුතු බවයි. ජනප්‍රිය පාසල් සංකල්පය තුළ විශාල දරුවන් පිරිසක් කොළඹ නගරයේ පාසල්වලට ඇඳී ඒම හේතුවෙන් අද කොළඹ නගරයේ දරුවන්ට පාසල් අහිමිවීමේ ඛේදජනක තත්ත්වය ද මෙහිදී ජනාධිපතිතුමා සිහිපත් කළේය. එමෙන්ම අධ්‍යාපනයේ තරගකාරිත්වය තුළ එක් පාසලක් සඳහා අසීමිත සිසු පිරිසක් වාර්ෂිකව ඇතුළත් කර ගැනීම හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය මෙන්ම විනයවත් අනාගත පරපුරක් ගොඩනැඟීමේ දී මතුව ඇති අභියෝගය ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය. 05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසිකර ඒ සඳහා ඉදිරිපත් කෙරෙන විකල්ප වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අධ්‍යාපනඥයන් ඇතුළු ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.
 

More News..