brand logo

රටේම හදවත් උණු වූ ඉටුකම දැන්වීම හැදුණු හැටි

09 June 2020

දියණියට තාමත් වයස අවුරුදු හතරකි. ඈ වැඩිපුර සෙනේ පාන්නී තාත්තාටය. ඒ නිසා ඈ මග බලා සිටින්නේ තාත්තා ගෙදර එනතුරුය. එහෙත් රෝහලේ සිට ගෙදරවිත් ඔවුන්ට පෙර සේ තමන්​ගේ සෙනෙහ කැදැල්ලේ සුව විඳින්නට ලැබුණේ නැත. දොස්තර තාත්තා දකින්නට ඇස් තියාගෙන සිටි දියණිය, ගේ ළඟට ආ පියා දුටුවාය. ඈ වෙනදා සේ තාත්තා ළඟට පිම්මේ දිව යන්නට සැරසෙද්දී අම්මා ඈ වැළකුවාය. දියණියගේ හිතට දැනුණු දුක සෝබරව මුහුණේ ඇඳුණේය. ඔහු දුර සිටම අත වනා ඇයට සමු දෙන්නේ යළි රෝහලට යන්නටයි. දියණියට යමක් මතක් විය. ඈ ඉස්තෝප්පුවේ සිටම තාත්තාට දණ ගසා වැන්දාය. ඇයට ආශිර්වාද කරන්නට ඔහුගේ අතත් ඒ දුර සිටම එසැවුණේය. එතැනින් එහා රූප රචනය වී නැතත් කාගේත් හදවත් එතැනදී හිර වුණේය. කඳුළු උනා ඇස් තෙත් වුණේය. ඒ නොහඳුනනා දොස්තර තාත්තා සහ පුංචි දියණිය ගැන කියන්නට බැරි හැඟීමක් කාගෙත් හදවත් ඇතුළේ වචන වුණේය. මේ, එකම එක දොස්තර තාත්තෙක්ගෙ විතරක් කතාව නොවේ. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ රෝහල්වල සිටි සමස්ත දොස්තර තාත්තාවරුන්ගේත්, දොස්තර අම්මාවරුන්ගේත් කතාව එයයි. හෙද සහෝදර සහෝදරියන්ගේ කතාවද එයමය. රෝහලේ කාර්ය මණ්ඩලයේ හැම කෙනකුගේම කතාව වන්නේත් මේ හා සමානම කතාවකි. එසේ ඔවුන් අප රකිද්දී නිවෙස්හි සිටින අයටද රට වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්නට අවස්ථාවක් ලැබුණේය. ‘ඉටුකම’ ඔබට මතක් කරන්නේ රට වෙනුවෙන් ඔබට ඉටුකරන්නට ඇති යුතුකමයි. ඒ, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සවිබල ගැන්වීමයි. ​කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල උපදින්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. මිලියන සීයක මුදලක් තැන්පත් කරමින් අරමුදල ස්ථාපනය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. කොවිඩ්-19 වසංගතයත් සමග අපේ රටේ ඇතිවූ සෞඛ්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් මේ අරමුදල සවිබල ගැන්වීම ඊළඟ අරමුණ වුණේය. ඒ නිසා මේ අරමුදල වෙනුවෙන් කමිටුවක්ද පත් කෙරුණේය. ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේත්, සතොස සභාපති නුෂාඩ් පෙරේරාගේත් මූලිකත්වයෙන් අරමුදල සවිබල ගැන්වීමේ ප්‍රචාරක කටයුතු සිදුවුණේය. ඒ සඳහා සැලසුම් කළ ප්‍රචාරක කටයුත්ත ආරක්ෂක ලෙක්ම්වරයා විසින් බාර දෙනු ලබන්නේ ලංකාවේ අංක එකේ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් වන ට්‍රයඩ් ආයතනය වෙතටයි. එදවස ලංකාවේ එල්ටීටීඊ යුද්ධයේ උණුසුම්ම කාලයේ ‘රණවිරුවා’ ඉහළින් ඔසවා තබන්නට ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම නිර්මාණය වූයේද ට්‍රයඩ් දැන්වීම් ප්‍රචාරක ආයතනයෙනි. එසේ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලේ ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව කටයුතු කළේ උදේනි පෙරේරාය. ඇය කියනා විශාලම අභියෝගය වූවේ ලංකාවම ‘ලොක් ඩවුන්’ කාලයේ ‘ඉටුකම’ නිර්මාණය කරන්නට වීමයි. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව සියයට සීයක් ස්වේච්ඡාවෙන් ‘රට වෙනුවෙන්’ එය කරන්නට භාර ගැනුණේය. එහි මූලිකම පියවර වූයේ අරමුදලට සතයක් හෝ දෙන්නට සිතෙන අන්දමේ දැන්වීම් පිටපතක් නිර්මාණය කිරීමයි. එය ලියන්නට තේමාවක්, උපායක් අවැසිය. ඒ උපාය දෙන්නේ ෂෙහාන් සමරසිංහයි. ඔහු ‘ඉටුකම’ දැන්වීමේ උපාය මාර්ග කළමනාකාරවරයාය. ‘‘ලෝකයේම වසංගතයක් විදිහට කොවිඩ්-19 පැතිරෙද්දී එක එක රටවල් එක එක විදිහට කටයුතු කළේය. ඇමරිකාව මුල් කොට බැලුවෙ ආර්ථිකය. යුරෝපය, ස්පාඤ්ඤය වගේ රටවල් මුලින් හිතුවෙ දේශපාලනය ගැන. ඉතාලිය මුල්තැන දුන්නෙ නිදහසට. නමුත් කොවිඩ්-19 එනකොටම ලංකාව මුලින් හිතුවෙ ජීවිත ගැන. කොවිඩ් භයානක විදිහට පැතිරෙමින් තිබ්බ, ඒ වෙනකොටත් මිනිස්සු මැරෙමින් තිබ්බ වූහාන්වලට ගුවන්යානයක් යවලා ඉගෙන ගන්න ගිහින් හිටපු ළමයින්ව ගෙන්න ගත්තෙ ඒ නිසයි. රටම ලොක් ඩවුන් කරලා ඇඳිරි නීතිය දැම්මෙ ඒ නිසයි. ඇඳිරි නීතිය කඩපු අයව අල්ලලා දඬුවම් දුන්නෙත් ඒ නිසයි. ඒ වගේම අපේ රට මුලින්ම ජීවිත ගැන හිතපු නිසා තමයි රෝග ලක්ෂණ පෙන්වන අයව රෝහල්වලටත්, ඇසුරු කරපු අයව නිරෝධායනයටත් හොය හොයා යැව්වෙ. ඔය උපාය ඔස්සෙ මිනිස්සුන්ට හිතට වදින්න පිටපතක් හදන්නයි ඕන වුණේ.’’ ෂෙහාන්ගේ ඒ උපාය මාර්ගයට අනුව පිටපත නිර්මාණය කිරීම භාර වූයේ දුල්හරි ඉලංගකෝන්ටයි. ඔවුන් එකම කණ්ඩායමක් ලෙසට සාකච්ඡා කිරීමෙන් පසුව දුල්හරි අතින් ඉතාමත් හැඟීම්බර පදවැලක් ලියැවුණේය. ‘ඉගිලී යන්නට නොදී තද කර ඔය හිත මුර කරයි මගෙ රට ඔබයි මගෙ හදවත හිර කරන් දරු දුක සුසුම් බෙදනා අත සුව කරයි මගෙ රට ඔබයි මගෙ හදවත’ මේ ගීත රචනයට රූප රචනය නිර්මාණය වූයේද දුල්හරි අතිනි. ඒ සඳහා ඇය රූප රචනා එක්කර ගත්තේ කොරෝනාවේ ඇත්තම ඇත්ත කතාන්දරවලිනි. ‘‘ලංකාවේ රට වෙනුවෙන් ජීවිත පළමුව කියලා හිතපු, ඒ වෙනුවෙන් ඇප කැප වූ පිරිසක් තාමත් ඉන්නවා. ඒ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, ග්‍රාම නිලධාරිලා වගේ අය. ඔවුන් ජීවිත පරදුවට තියලා රට වෙනුවෙන් ඒ අයගෙ යුතුකම් උපරිමයෙන් ඉටු කරනවා මේ මොහොතේත්. ඔවුන් එහෙම කරද්දි ඉතින් ගෙදරට වෙලා සුවසේ හිටපු අපිටත් තියෙනවා යුතුකමක් ඉටු කරන්න. අපි ඒ යුතුකම මතක් කළේ ‘ඉටුකම’ නිර්මාණය කරලයි.’’ කොරෝනා සමයේ මාධ්‍යයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවලිනුත් මේ කියනා පිරිස රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ කතා බොහෝ තිබුණේය. වරක් අප පුවත්පතටම අයි.ඩී.එච්. රෝහලේ තරුණ හෙද නිලධාරිනියක වූ කුමාරි අමරසේන කිව්වේ රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් ගෙදර නොයා රෝහල් නේවාසිකාගාරවලම නැවතී ඉන්නා බවයි. වෛද්‍යවරුන්, වෛද්‍යවරියන්ගේ තත්ත්වයද එසේමය. කොළඹ අවට සිටි වෛද්‍යවරුන් නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය මලු තබා, ඈතින් සිට දූ දරුවන්ට අත වනා පැමිණි අවස්ථා තිබුණේය. දුරබැහැර අය පවුලේ සාමාජිකයන් මුණ ගැසුණේ දුරකථන තිරයෙන් පමණි. කොවිඩ් රෝගීන් සුළු පිරිසක් සිටින රාගම, හෝමාගම වැනි රෝහල්වල වෛද්‍යවරුන් හා හෙද හෙදියන් රාජකාරි කර නිවෙස්වලට ගියද පවුලේ සාමාජිකයන් හා පවත්වන සම්බන්ධතා සීමා කර සිටියහ. ඒ අයුරින් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය රෝෂිණී සෝලංගාරච්චිද කීවේ නිවසට ගියත් වෙනම සිටිනා බවයි. එසේම රාගම රෝහලේම තවත් වෛද්‍යවරයකු නිවස තුළට නොයා වෙනම ඉන්නා බව කීවේ ඔහුගේ මහලු අම්මා නිසාය. ‘‘මගේ අම්මා වයසයි. එයයි, නෝනයි, බබාලා දෙන්නයි ගෙදර ඉන්නේ. මේ දවස්වල මං ගේ ඇතුළට යන්නෙ නෑ. මගේ වාහනේ දාන ගැරේජ් එකට අල්ලපු ගබඩා කාමරේ ඇඳක් දාලයි මං පාවිච්චි කරන්නේ. මං එහෙම කරන්නෙ අම්මාව ආරක්ෂා කරන්න...’’ ඒ අයුරින්ම සමහර වෛද්‍යවරු කාමරවලට නොයා විසිත්ත කාමරයේ පුටුවක රැය පහන් කරන්නෝද වෙති. වෛද්‍යවරුන්ගේ කතා එසේ වෙද්දී පුත්තලම රෝහලේ සේවය කරන බව කියන සචිති මධුමාලි මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබුණාය. ඒ, මවත් පියත් නැති නිවසේ සිටින සිඟිති දියණිය ගැනයි. ‘‘ගොඩක් අයට ගෙදර ඉන්න බෑ. මට ගෙදර ඉන්න නෑ. මට එහෙම අවශ්‍යත් නෑ. මේ වගේ වෙලාවකට නැත්නම් සෞඛ්‍ය සේවකයෙක් වශයෙන් මගෙන් ඇති වැඩකුත් නෑ. රණවිරුවෙක් වශයෙන් අත්‍යවශ්‍ය සේවාවක යෙදී සිටින මගේ සැමියත්, මමත් නොමැතිව අවුරුද්දයි මාස තුනක සිඟිති දියණිය, ආයම්මත් සමග නිවසේ තනිව.’’ ඇය එහිම තැබූ තවත් සටහනක වූයේ ඈ නාවික හමුදා සෙබළකුගේ බිරිඳක් බවත්, එදා වගේම අදටත් එය ආඩම්බරයක් බවත්ය. ‘‘අවුරුද්දකින් ආවත් දුව අප්පච්චිව අඳුරනවා, හරි ආදරෙයි. කොවිඩ්-19 නිසා එයාටත් මේ පාර නිවාඩු එන්න වුණේ ගොඩක් පරක්කු වෙලා දවස් 78කින්. ගෙදර ඇවිත් දවස් තුනයි. නිවාඩු ඉවර වෙන්නත් කලින් ඔහුට නැවත සේවයට වාර්තා කරන්න වුණා. දැන් නිරෝධායනය වෙන ගමන් ඉන්නෙ. පුදුමාකාර ආසාවෙන් හිටියෙ දරුවා එක්ක ඉන්න.’’ ඒ හැම කතාවක සේම මේ පිටපතේ ලියැවී ඇති හැම කතාවකමත් ඇත්තේ රට වෙනුවෙන් කැපවී නිහඬ සේවයක් කරනා මිනිසුන් ගැනය. ඔවුන්ගේ ජීවිත ඇතුළේ ඇති ඇත්ත කැපවීම ගැන නිර්මාණය වූ ඉටුකම පිටපත හැඟීම්බර දැන්වීමක් බවට පත් කිරීමේදී කලා අධ්‍යක්ෂණය වූයේ ඉන්දික අනුරාධ අතිනි. ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදනය, කළමනාකරණය චන්දන ගාමිණී සිදු කළේය. ප්‍රේම්ස් ෆිල්ම්ස් ප්‍රඩක්ෂන්හි නිෂ්පාදන සහායෙන් කළ ඉටුකම දැන්වීමේ අධ්‍යක්ෂණය සිදුවුණේ ශ්‍යාමන් ප්‍රේමසුන්දර අතිනි. නිශ්චල ඡායාරූප ගත්තේ ධනුෂ් ඩී. කොස්තාය. ‘‘මේක රූගත කරන්න සිද්ධ වුණේ ඇඳිරි නීතිය තියෙන, වැඩ කරන්න අවසර නැති කාලෙක. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට අනුව වැඩ කරන්න ලැබුව අවසරය මත දින දෙකක වැඩක් එක දිගට පැය විසි එකක් වැඩ කරලා ඉවර කළා.’’ චන්දන කියන්නේ ඒ පැය 21 තුළ කතා කොටස් හතර එක බැගින් කළ බවයි. ඒ මාලබේ සහ පිළියන්දල ගෙවල් කීපයක් ඇසුරේය. ‘‘උදේම ගත්තේ දොස්තර තාත්තා ගේ ළඟට ඇවිත් යන දර්ශනය. එතැනදි අවස්ථා දහයක් විතර එකම දර්ශනය රූගත කළා හරියටම ඒ හැඟීම් තුන්දෙනාගෙන්ම එනකල්. හැබැයි ඒ දර්ශනය කරලා ඉවර වෙනකොට අපි විතරක් නෙවේ, ඇත්තටම ඒක රඟපාපු අයත් සංවේදී වෙලා හිටියේ. රංගනයක් නොවන තරමට ඔවුන්ටත් ඒක හදවතටම දැනිලා තිබුණා. නර්ස් අම්මා බබාව බලලා ආපහු වැඩට යන දර්ශනයට තමයි ලොකු කාලයක් ගතවුණේ. හරියටම දවසෙන් බාගයක්. ඒ තරම් වෙලාවක් ඒකට යන්න හේතුවක් තිබුණා. ඒ, බබා අවුරුදු තුනක පොඩිම දරුවෙක්. අපිට ඕන වුණේ එයාව වෙහෙස නොකර, එයාට වද නොදී සතුටින් තියලා අපේ රූගත කිරීම් අවශ්‍ය විදිහට කරගන්න. නර්ස් අම්මා යන්න යද්දි තාත්තා අතේ ඉඳලා අඬපු බබාගෙ ආයෙ හිනාවක් ගන්න පැය හතරක් කැමරාවට ඇහැ තියාගෙන බලා හිටියා.’’ කාලය ඉතුරු කරගෙන ඉතා ඉක්මනින් රූගත කිරීම් අවසන් කළ යුතු නිසා නිෂ්පාදන කණ්ඩායම දවල් රෑ කියා නොබලාම වැඩ කර ඇත. ඒ නිසා හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නියෝජනය වන්නට එක්කළ කතා කොටස රූගත කිරීම් අරඹා තිබුණේ හවස හයට පමණය. ‘‘ඒ රූගත කිරීම් රෑ 10.30 විතර වෙනකල් කළා. එතැන දරුවගේ චරිතයට තිබුණේ තාත්තට මාස්ක් එකක් හදලා අම්මා බත් මුල් දාන බෑග් එකට දාන්න. දරුවා ආව වෙලේ ඉඳලා කළේ මාස්ක් හදපු එක. අන්තිමට එයාට කරන්නෙ මොනවද කියලා අමතකයි. ආයෙ කට්ටියට එයාගේ සීන් එක මතක් කරන්න සිද්ධ වෙනවා. ඒ දර්ශනේ ඉවර වෙනකොට ඒ පුතාට මාස්ක් හදන්නත් හොඳ පළපුරුද්දක් ආවා. දැන්වීමේ පළවැනියටම පෙන්වන කතා දර්ශනය රෑ 11.30ට රූගත කරන්න අරන් ඉවර කළේ පාන්දර දෙක හමාරට වගේ. ඒ පුතා ටිකක් ලොකු වුණාට ආච්චි අම්මගෙයි, දරුවගෙයි රංගනය එකට එනකල්ම ඒ දර්ශනයක් හත් අට වතාවකට වඩා කළා. මේ තරමට රෑ දවල් නැතුව එහෙම රංගනයට ආව අයත් වාණිජ පරමාර්ථයෙන් තොරව අයකිරීමක් නැතුව කැමැත්තෙන් රඟපාපු අයයි.’’ සියල්ල එසේ වද්දී ඉටුකමේ පදවැලට දැනෙන තනුවක් හැදුවේ භාතිය ජයකොඩිය. සංගීත අධ්‍යක්ෂණය චමිත කුරේගෙනි. එය හදවතට දැනෙන්නට ගයන්නේ භාතිය-සංතුෂ් සහ උමාරියා සිංහවංශයි. ‘‘ඒ පදමාලාව කියෙව්වාම තනුව නිර්මාණයට මහ ලොකු කාලයක් ගියෙ නෑ. පැය බාගෙකින් මං තනුව එකපාරින් නිර්මාණය කළා. ඒ දවස්වල අපේ රටේ ඇතිවෙලා තිබ්බ තත්ත්වෙ අපේ ඇඟ ඇතුළෙත් තිබුණා. චමිතත් පළමු පාරින්ම සංගීත අධ්‍යක්ෂණය කරලා තිබුණා. උමාරියා, සංතුෂ්, මම ගැයූ ගීතය රෙකෝඩින් කළේ දෙපාරයි. පදමාලාව අතට ලැබිලා දින එකහමාරකින් ඒක ගීතයක් වෙලත් අපි ගැයූ ගීයට නිර්මාණය වුණ ඉටුකමේ දැන්වීම බලද්දි ඒක කොයි තරම් හැඟීම්බර සංවේදී දැන්වීමක්ද කියලා අපිටත් දැනුණා. ඒකෙ අන්තිම රූප රාමුව දකිත්දී අපේ ඇහැටත් කඳුළක් ආවා’’ ඒ අයුරින් නිමවුණ ‘ඉටුකම’ දැන්වීම දකිනා නෙතක, හිතක, හදක උපදින හැඟුම තව කෙනකුට වචන කොට විස්තර කරන්නට අසීරුය. ඒ තරමට සංවේදීව, හැඟුම්බරව නිමැවුණු ‘ඉටුකම’ මාධ්‍යයෙන් ඇස ගැසෙන්නට ගත් දා සිට ඉටුකමේ බලාපොරොත්තුව වූ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග ලැබෙන්නට ගත්තේය. ඉටුකම අරමුදලක් වන්නා සේම ඒ අරමුදල පෝෂණය විය යුත්තේ අපි, අපි අතින්මය. බියංකා නානායක්කාර
 

More News..