brand logo

රටේම ජනතාවගේ රහස් එක්ක පැනපු සී.අයි. අමාත්‍යංශ කාමරයේ සී.අයි.ඩී.යෙන් පරීක්ෂණය

09 November 2019

මහජනතාවගේ දත්ත පරිගණකගත කර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවට ලබා නොදී සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇත. මෙම පරීක්ෂණ කටයුතුවලින් බේරීම සඳහා ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන නීතිය හා සාමය අමාත්‍යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පෙනී සිටින බවට වාර්තා වේ. මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එම අමාත්‍යාංශයේ නිල කාමරයක්ද ලබාදී ඇත. මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ දත්ත පරිගණකගත කිරීමේ අංශයේ තමා කටයුතු කළ බවත්, 2018 වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම අංශයෙන් තමා ඉවත්කර ඇති බවය. එම පරිගණක දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ ටෙලිකොම් සමාගමට රුපියල් මිලියන තුනයි දශම හතක මුදලක් නොගෙවීම නිසා බවද ඔහු කීවේය. වසර දහයකට වැඩි කාලයක බුද්ධි තොරතුරු මෙම පද්ධතියේ තිබෙන බවත්, තමාට ලැබුණු සහකාර පොලිස් අධිකාරී තනතුරද පොලිස් කොමිෂන් සභාවෙන් ඉවත් කෙරුණු බවද ඔහු කීවේය. එම පරිගණක දත්ත පද්ධතිය තමා විසින් සකස් කරන ලද එකක් බවත්, එහි දත්ත ලබාගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන හාරසිය හැටක පොලිස් නිලධාරීන් පිරිසක් පුහුණු කළ බවද ඔහු කීවේය. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ පොලිස් ආඥාපනත අනුව පොලිසිය එකතු කරන ලද ඒ ඒ පොලිස් වසම්වල පදිංචි මහජනතාවගේ දත්ත මෙම නිලධාරියා ලබා නොදී ඔහු ළඟ තබාගෙන සිටින බවය. මෙම නිලධාරියා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරෙන පරීක්ෂණයට අමතරව ඉදිරි දිනවලදී දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ඔහු දිගින් දිගටම රාජකාරියට වාර්තා කර නොමැති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් පසුගිය කාලයේ වැටුප් ගෙවීමක් සිදු කෙරුණද, රාජකාරියට වාර්තා නොකිරීම නිසා දැන් වැටුප් ගෙවීමක් සිදු නොවන බවද ඔහු කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..