brand logo

රටවල් රැසක් යන්නේ වැරැදි දිශාවටයි

15 July 2020

කොවිඩ්-19 පාලනයේ දී සියලු රටවල් වඩාත් තීරණාත්මක පියවර ගැනීමට අසමත් වුවහොත් වසංගතය දිනෙන් දින තවත් දරුණු අතට හැරෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රොස් ගෙබ්‍රෙයේසස් නැවතත් අනතුරු අඟවා තිබේ. ඔහු තවදුරටත් පවසා ඇත්තේ මේ වනවිට බොහෝ රටවල් ගමන් කරමින් සිටින්නේ වැරදි දිශාවට බවයි. ගෙබ්‍රෙයේසස් මේ බව සඳහන් කර තිබුණේ පසුගිය සඳුදා (13දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. ‘අද ලෝක ජනතාවගේ අංක එකේ සතුරා බවට පත්ව ඇත්තේ මෙම වයිරසයයි. නමුත් බොහෝ රටවල පාලකයන් සහ ජනතාව මෙය තේරුම් ගෙන ඇති බවක් ඔවුන්ගේ හැසිරීම් තුළින් පිළිබිඹු වන්නේ නැහැ’ යැයිද ඔහු සඳහන් කර තිබිණි. සමාජ දුරස්ථභාවය, අත් සේදීම, මුහුණු ආවරණ පැලඳීම වැනි පියවර සම්බන්ධයෙන් මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරන ගෙබ්‍රෙයේසස් පවසන්නේ වසංගතයට කලින් ජීවත් වූ ආකාරයට ජීවත් වීමක් ගැන නුදුරු අනාගතය තුළ බලාපොරොත්තු නොවිය හැකි බවයි. ‘ඉහත කී මූලික පියවර අනුගමනය නොකළහොත් සිදුවිය හැක්කේ එක දෙයක් පමණයි. එනම් වසංගතය දිනෙන් දින වඩාත් නරක, බිහිසුණු තත්ත්වයකට පත් වීම පමණයි’ ඔහු පෙන්වා දෙයි. මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් සියයට 80ක්ම වාර්තා වී ඇත්තේ රටවල් 10කින් බවත්, සියයට 50ක්ම වාර්තා වී ඇත්තේ රටවල් දෙකකින් පමණක් බවත් ඔහු සඳහන් කර තිබිණි. මේ වෙද්දී ආසාදිතයන් වැඩිම රටවල් දෙක බවට පත්ව සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයයි. තුන්වැනි තැන පසුවන ඉන්දියාවෙන්ද විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. වයිරසය මර්දනය කිරීම සඳහා රටවල් හෝ විශාල ප්‍රදේශ වසා දැමීම ආර්ථික වශයෙන් හානිකර විය හැකි බව සැබෑවක් වුවත් කුඩා ප්‍රදේශ වසා දැමීම වැනි පියවර තවදුරටත් අවශ්‍ය විය හැකි බැව් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂවරයෙකු වන මයික් රයන් මෙහිදී ප්‍රකාශ කර තිබිණි. සහන් වික්‍රමගේ
 

More News..