brand logo

රටට දැනෙන පුහුණුවක් දෙන්න කල්පයක් බලා ඉන්න කල්පගේ කියන කතාව

18 February 2019

මෙරට ක්‍රීඩා ලෝලියා දේවත්වයෙහිලා වැඳුම් පිඳුම් කළ ක්‍රිකට්, අද ‘නොදකිං’ යැයි කියැවෙයි එදා මෙරට ක්‍රිකට් දේවත්වයේ ලා සැලකූ ක්‍රීඩා ලෝලියාට අද අපේ ක්‍රිකට් දෙස බලන විට ‘නොදකිං’ යැයි කියැවෙයි. පරාජයන් පිට පරාජයන්ය. අවුල් පිට අවුල්ය. ඉන්ද්‍රජාලික පුහුණුකරුවකු ලෙසින් බංගලිදේශයේ සිට මෙරටට කැඳවූ හතුරුසිංහගේ තරග දිනවීමේ මැජික් යෂ්ඨියේ බල සිඳී ගොසින් මෙනි. මෙරට ක්‍රිකට් වළෙන් ගොඩ ගැනීමට පැමිණි ඔහුද දැන් ඒ වළේම වැටී ඇත. මේ සිදුවන්නේ කුමක් දැයි නිශ්චිතව විග්‍රහ කළ නොහැකිය. නමුත් එදා 1999 ලෝක කුසලානේ ආරම්භයේ සිට අවසානය දක්වාම හතුරුසිංහ සමග බංකුවේම අසුන් ගන්වා සිටි, එයින් පසුව ක්‍රීඩාවෙන් සමුගෙන හතුරුත් සමගම පුහුණුකරුවකුගේ කාර්යයට පිවිසුණු, පසුව හතුරුසිංහ සමගම ඔහුගේ සහාය පුහුණුකරු ලෙසින් බංගලිදේශ කණ්ඩායමට සේවය කළ, රුවන් කල්පගේ ඉකුත්දා අපට හමුවන්නේය. ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙක් ලෙසින් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වසර ගණනාවක් නියෝජනය කළ ක්‍රීඩකයෙකු ලෙසින් ඔහුගෙන් අසන්නට බොහෝ දේ තිබුණි. මොකක්ද මේ වුනේ කියලා කෙටියෙන්ම කිව්වොත්? වැරදි මිනිස්සු වැරදි තැන්වල ඉන්න ප්‍රශ්නය තමයි. අපි හැමෝම කියනවා ක්‍රීඩකයන්ගේ වැරදි. ඇත්තටම හැදෙන්න ඕනේ ක්‍රීඩකයන් ද නැතිනම් පුහුණුකරුවන් ද? එහෙමත් නැතිනම් පරිපාලනය නෙමෙයිද හැදෙන්න ඕනේ. ගෙදරක අම්මයි, තාත්තයි වැරදි කරනවා නම් ළමයි කොහොමද හරියට හැදෙන්නේ? ඒ වගේම තමයි මෙතැනත්. ළමයින්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කාලයක් කටයුතු කළා. ඒත් නොහිතපු වෙලාවක මේ ‘කසාදය’ කැඩුණා? 2014 අපි පන්දුවාර 20 ලෝක කුසලාන දිනාගත්තට පස්සේ පෝල් ෆාබ්‍රේස් අපේ කණ්ඩායම දාලා ගිහින් එංගලන්තෙ සහය පුහුණුකරු වුණා. ඒ වෙලාවේ කණ්ඩායම භාරගත්තේ මාවන්. මම තමයි පන්දු රැකීමේ පුහුණුකරු වුණේ. වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු. අපි අපේ කණ්ඩායම එක්ක එංගලන්තයට ගිහින්, අවුරුදු 16කට පස්සෙ පළවෙනි වතාවට එංගලන්තයේදි ටෙස්ට් තරගාවලියක් දිනනවා. එහෙම තියෙද්දිත් මගේ කොන්ත්‍රාත් කාලය ඉවරවෙන්න අවුරුද්දකටත් වැඩි කලක් තියෙද්දි පත්තරවල පළවෙනවා ක්‍රිකට් බෝඩ් එක පන්දු රැකීමේ පුහුණුකරුවෙක් හොයනවා කියලා. ඒ වෙන්නත් කලින් හතුරුසිංහ මට බංගලිදේශයට කතා කරලා තිබුණා. නමුත් මට යන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ වුණත් ලංකාවේ මම දරපු තනතුර වෙනුවෙන් අර විදිහට පුවත්පත් දැන්වීම් දැම්මට පස්සේ තමයි මම බංගලිදේශයට යන්න තීරණය කළේ. නමුත් ඔබට බංගලිදේශ කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුර ලැබෙනවා. පන්දු රැකීමේ පුහුණුකරු සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වගකීම් සමගම.... මේකට පාර කැපෙනනේ කොහොමද? 96 ලෝක කුසලානෙට නම් කරල තිබුණු හතුරුසිංහවයි, මාවයි අන්තිම මොහොතේ කපනවා. 99 ලෝක කුසලානෙට අපි දෙන්නවම අරගෙන ගිහින් එකම තරගයක්වත් නොදී ගේනවා. ඊට පස්සෙ අපි දෙන්නම පුහුණුකරුවන් වෙනවා. එදා ඉඳලා හතුරු මාව දන්නවා. හතුරු තමයි මාව බංගලිදේශයට ගෙන්නන්නේ. ඒත් ඒ අපි එකට ක්‍රිකට් ගහලා, එකම අත්දැකීම් විඳපු නිසා නම් නෙමෙයි. පුහුණුකරුවෙක් හැටියට ඔහු මාව අඳුනගෙන හිටපු නිසයි. නමුත් ඔබ 2016 දී බංගලිදේශ කණ්ඩායම අතහැරලා එනවා. මෙය බංගලිදේශ ක්‍රිකට් පරිපාලනයේ දෝෂ දර්ශනයට ලක්වෙන දෙයක් බවටත් පත්වෙනවා? 2016 බංගලිදේශයෙදී අයි.එස් ත්‍රස්තවාදීන් විදේශිකයන්ව ඉලක්ක කරලා කරපු පහරදීම නිසා තමයි මම ලංකාවට එන්න තීරණය කරන්නේ. ඒක මගෙ පවුලේ තීරණයක්. ඒ සිද්ධිවලින් පසුවත් හතුරු මට කතා කළා, මට අවස්ථාවක් ඒ දක්වාත් තියෙනවා. නැවත බංගලිදේශ කණ්ඩායමත් එක්ක එකතුවෙන්න කියලා. නමුත් මම ඒ වෙලාවෙ හතුරුට පැහැදිලි කළා මේක මම මගේ බිරිඳත්, දරුවෝ දෙන්නත් එක්ක එකතුවෙලා ගත්තු තීරණයක්. ඒ නිසා ආයෙ එන්න අදහසක් නෑ කියලා. ඕමාන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඔබේ තියෙන සම්බන්ධය? පිළිතුර - 2016 ඔක්තෝබර් ඉඳන් මම ඕමාන් ක්‍රිකට්වල උපදේශකවරයෙක්. දැන් එහේ ක්‍රිකට් පුහුණුකරු ඉන්නේ අපේ දුලිප් මෙන්ඩිස්. එය අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 5 වැනි කාණ්ඩයේ ඉඳන්, දෙවැනි කාණ්ඩය දක්වා ඉහළට ගෙනාවා. ලබන අප්‍රේල් මාසේ එම දෙවැනි කාණ්ඩයේ රවටල් 6 අතර පැවැත්වෙන තරගාවලියේදි ඕමානය එහි මුල් කණ්ඩායම් 4 අතරට ආවොත්, ඕමානයට එක්දින ජාත්‍යන්තර තරග අවස්ථාව උදාවෙනවා. ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධුරයක් සඳහා ඔබ නුසුදුස්සෙක් වෙන්නෙ කොහොමද? මම එදා 1999 දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නිල නොවන මට්ටමින් පුහුණුකරුවකුගේ සේවය ලබාදෙනවා. එදා ඉඳන් අද දක්වා බංගලිදේශ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම වගේම ඕමාන කණ්ඩායම එක්කත් කටයුතු කරලා තියෙනවා. මම පුහුණුකාරීත්වයට අමතරව ක්‍රීඩා මනෝවිද්‍යාවත් හදාරලා තියෙනවා. ජාත්‍යන්තර පුහුණුකරුවෙක් හැටියට මේ තරම් වසර ගණනක් කටයුතු කරලත්, මේ රටෙන් අපිට ලැබිලා තියෙන ඇගයීම මොකක්ද? එකවරක් තිලංග සුමතිපාල බලයේ ඉන්න කාලේ මට සහය පුහුණුකරු තනතුරුට කතා කළා. මම එයට කැමැතිත් වුණා. ඒත් කුමක් හෝ හේතුවක් නිසා ඒ කතාව යටගියා. පහුගිය කාලෙ මට ආයෙත් කතා කළා ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුරට. නමුත් අනෙක් පුහුණුකරුවන්ට සාපේක්‍ෂව මට බොහොම අඩු වටිනාකමක් තමයි දීලා තිබුණේ. අපි වගේ ජාත්‍යන්තර වශයෙන් පුහුණු කිරීමේ අත්දැකීම් නැති අයටත් මට වඩා දීමනා පිරිනමලා තිබුණා. මම ඒ වගේ ලාභ තැනකට වැටෙන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා මම එය ප්‍රතික්‍ෂේප කළා. ඔබ අද පුද්ගලික ක්‍රිකට් ඇකඩමියක පුහුණුකරුවෙක්. ඔබේ ක්‍රීඩකයන් හදන ක්‍රමවේදය? මගේ ක්‍රමවේදය තරමක් වෙනස්. මම තනි තනි ක්‍රීඩකයා වෙනුවෙන් වෙලාව දීලා තමයි ක්‍රීඩකයව හැඩගස්වන්නේ. ඒ වගේම මගේ පුහුණුකරවීමෙදි මගේ අධ්‍යාපනික වැඩසටහන් කරන්නේ දෙමාපියන්ට. දෙමාපියෝ මේ ක්‍රීඩාව ගැන හරියට දැනුවත් වුණොත් තමයි ක්‍රීඩකයෙක් හරියට හදන්න පුළුවන්. ඒ වගේම අපි උදාහරණයක් බවට පත් නොවී අපිට දරුවන්ව මෙහෙයවන්න බෑ. අනුන්ව හදන්න බෑ. අනෙක් අයට අපි උදාහරණයක් වෙන්නේ කොහොමද කියන එක ගැනත් මගෙ අධ්‍යාපනික වැඩසටහන්වලදී මම විශේෂ අවධානයක් යොමු කරනවා. මෙරට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරයන් පිරිනැමීම ගැන ඔබේ මතය කුමක්ද? මට පුද්ගලිකව දැනුණු තැන් මම කියන්නම්කෝ. මම මෙහේ ඉන්දැද්දී නික් පෝතස්ව ගෙනාවා. ඔහු ජාත්‍යන්තර මට්ටමේ කිසිම පුහුණු කටයුත්තක යෙදිලා තිබුණේ නැහැ. අද අපේ ක්‍රිකට් බෝඩ් එක වයස 60න් එහා අයව රාජකාරි සඳහා නොගතයුතුයි කියන මතයේ ඉන්නවා. ඒත් අද කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු හැටියට ගෙනත් තිබෙන කෙනාට වයස 64යි. දැන් අපට කියනවා අදාළ තනතුර වෙනුවෙන් අපට අයැදුම්පත් යොමුකරලා තියන්න කියලා. නමුත් අන්තිමේදි ඒ තනතුරු ලැබෙන්නේ, අර විදිහට අයැදුම් කරලා තිබුණු අයටද නැතිනම් උඩින් බැහැපු අයටද කියන ගැටලුව මට තියෙනවා. නමුත් අපි අයැදුම් කළාට පස්සේ ඒ අය අපේ ඇයැදුම් පත්‍රයත් ගණන් කරලා ‘මේ තරම් අයැදුම්පත් ගණනක් තුළින් තමයි අපි මේ තොරාගැනීම කළේ’ කියලා නම් කියනවා. ඔබ බංගලිදේශ කණ්ඩායම දැක්කා. ඔවුන් දියුණුවෙනවා දැක්කා. ඔබ ලංකාව හොඳින්ම හඳුනනවා. මේ රටවල් දෙකේ ක්‍රීඩකයන්ගේ වෙනස කොහොමද ඔබ දකින්නේ? මම 2008 ඉඳලා 2010 වෙනකම් කාලයත්, 2014 ඉඳලා 2016 වෙනකම් කාලයේත් බංගලිදේශ කණ්ඩායම සමග පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළා. බංගලිදේශ ක්‍රීඩකයො නැගිට්ටොත් නැගිට්ටා. වැටුණොත් වැටුණා. සාපේක්‍ෂව ලංකාවේ අපේ ක්‍රීඩකයන්ගේ හැකියාව ගොඩක් ඉහළින් තියෙන්නේ. හැබැයි මේ ගැන අවබෝධයක් නැති අය කාලෙන් කාලෙට ඇවිත් අපේ ක්‍රීඩාව ඒ මේ අත කරවනවා. අද හැරෙන්න, අපි මෑත කාලයේ 2003-2007 අතර කාලයේදි තමයි පසුබෑමක හිටියේ ඊට පස්සේ දිගටම ෆයිනල්.... ෆයිනල්..... ෆයිනල්..... චැම්පියන් තමයි. හැකියාවේ අඩුවක් නැහැ. නමුත් 2015 ඉඳලා මොකද වුණේ කියන එක, වට මේසයක ඉඳගෙන කතා කරන්න ඕනි කරුණක්. ඔබ හතුරුසිංහත් එක්ක පුහුණුකරුවෙක් ලෙසින් එකටම හිටපු කෙනෙක්. ශ්‍රී ලංකා කණ්ඩායම භාරගත්තු එකෙන්, එදා රජෙක් වගේ හිටපු හතුරුසිංහට මොකද වුණේ? හැමදාම හතුරුසිංහත් එක්ක එකට වැඩ කළේ මමයි, මරියෝ වෙල්ලවරායනුයි තමයි. බංගලිදේශයේදී අපි තුන්දෙනා හිටියෙත් එකම මහල් නිවාසයක. එදා තරගයකට බංගලිදේශ කණ්ඩායම තෝරද්දි අපි එකට වාඩිවෙලා පැය ගණන් වාද විවාද කරනවා. අන්තිමේදි හොඳම කණ්ඩායම තේරෙනවා. අද හතුරුට එහෙම අවස්ථාවක් ලැබෙනවද කියන්න මම දන්නෙ නැහැ. දැන් අර අපි තරම් ක්‍රිකට් ගහලත් නැති, අපි තරම් පුහුණුකාර අත්දැකීම් ඇත්තෙත් නැතිව, High Performance කියලා ගෙන්වපු සයිමන් විල්ස්ලා මොනවද කළේ. ඇයි මේ ඔක්කොම හතුරුගෙ පිට දාන්නේ. මම හතුරුව සුද්ද කරනවා නෙමෙයි. අපේ හොඳ ‘ඒ’ කණ්ඩායම් ආකෘතියක් තිබුණා නම්, සංවර්ධන සංචිත ආකෘතියක් තිබුණා නම්, අවශ්‍ය පුහුණුකරුවොත් ඔක්කොම හිටියා නම්, මේ තරම් හොඳ පාසල් ක්‍රිකට් ව්‍යුහයක් තියෙන රටක හතුරු නෙමෙයි කව්රු හිටියත් එයාට හොඳම ක්‍රීඩකයෝ ලැබෙන්න ඕනේ. මොකද සංගක්කාරලා, මහේලලා, ඩිල්ෂාන්ලා ගියා කියන්නේ එදා බන්දුල වර්ණපුරලගෙ කාලේ දකුණු අප්‍රිකාවේ ගිහින් වුණා වගේ ක්‍රීඩකයෝ දුසිමක් විතර එකපාර නැතිවුණ එකක් නෙමෙයිනේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට ජාතික කණ්ඩායමේ ඔබට නිසි තැන ලැබුණේ නැහැ කියලා කියැවෙනවා. එදා ජයසූරියත් එක්ක තරගයක අවසන් පන්දුවාර කිහිපයේ හමුවෙන ඔබත් දිගට හරහට පහර දුන්නා. ඒ නිසාම ජයසූරියට ආරම්භ පිතිකරු අවස්ථාව ආවා. නමුත් ඔබ සම්බන්ධයෙන් එහෙම යොදාගැනීමක් කළේ නැහැ? මම හැමදාම පසුපෙළ පිතිකරුවෙක්. එක්දින ඉනිම 69කින් 28ක්ම නොදැවීම් හැටියටයි වාර්තා අතර තියෙන්නේ. මට අන්තර් සමාජ තරගවලදිත් පසුපෙළම තමයි පිතිහරඹය ලැබුණේ. ඒ වුණාට ආරම්භක පිතිකරුවකු වන රොෂාන් මහනාමට තිබෙන පළමු පෙළ ශතක ගණනත් මට තිබෙන පළමු පෙළ ශතක ගණනත් සමානයි (14 බැගින්) පෙර කිව්ව වගේ ලෝක කුසලාන තරගාවලි දෙකකටම තේරිලත්, අන්තිමට මට තරග නරඹන්න විතරක් සිද්ධ වුනා. මම ජාත්‍යන්තර පිටියෙන් මාව විශ්‍රාමගන්වනකොට මට වයස 29යි. ඔබේ පුහුණු ජීවිතයි, ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයයි අතර ලොකු වෙනසක් නෑ වගේ? ඇත්ත තමයි. එදා මම වයස අවුරුදු 29න් පුහුණුකරවෙක් වෙනකොට මට වයස මදි කියලා කිව්වා. තව අවුරුදු 5ක් විතර යනකොට අත්දැකීම් මදි කිව්වා. අද වෙනකොට අවුරුදු 18ක් පුහුණුකරුවෙක් විදිහට ජාත්‍යන්තර අත්දැකීම් එක්ක ඉන්නකොට පුහුණුකරුවෝ තෝරන අයට දෙන්න උත්තර නැහැ. ඒත් අන්තිමේදි මොන විදිහකට හරි ඒ අයට ඕනි අයව ඒ අය ගන්නවා. ඉන්ද්‍රජිත් සුබසිංහ ඡායාරූපය - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..