brand logo

රටට ආදරය කරන කණ්ඩායම් දිරි ගන්වන්න මාධ්‍යයේ දායකත්වය ඕනෑ - ජනාධිපති

13 December 2019

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට විය යුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව සඳහන් කෙරිණි. පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරාපත්කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිවය. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වේ. එම අරමුණ ජයගැනීමේදී ද මාධ්‍ය‍යේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය. ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වේ. එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවැරෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පසුගිය දිනවල සංවාදයට ලක්වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය. ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කනගාටුව පළ කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඒවා නිවැරදි කිරීමේ හැකියාවද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි. නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇඳීමේ රැල්ල පිළිබඳව මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිතුමා පැවැසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව, රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලී වැඩපිළිවෙළක් බවයි. කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිලි කළේය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..