brand logo

රටටත් මදිකොට පෝට් සිටියට විදුලිය දෙන්නේ කොහොමද?

10 February 2019

හෙට දවසේ අඳුරේ සිටින්නට වේද නොවේද යන සැකය දෑස මානයේ පෙනී පෙනී තිබියදී කොළඹ ජාත්‍යන්තර වෙළෙඳ නගරය ලංකාවේ විදුලි බලය නැමති හිඟන්නාගේ පාත්තරයට කඩා වැටුණු හෙනහුරෙකු වේදෝයි ගැටලුවක් මතුව තිබේ. මේ වෙළෙඳ නගරයට ජලය, විදුලිය සැපයුම සේම එහි නඩත්තු කටයුතු ද කරන්නට සිදු වන්නේ ශ්‍රී ලංකා රජයටය. මේ වන විට නගරයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වී ඇති අතර 2020 වන විට එනම් ලබන වසරේ ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ වනු ඇත. නගරය ඉදිකිරීමේදී පාරිසරික, දේශපාලනික, ආර්ථික ගැටලු ගණනාවක් ගැන කතා බහට ලක්වුවද මේ වන විට ඉදිකෙරෙමින් ඇති නගරයේ අර්බුදයට ලක්වන ගැටලුව බවට පත්වන්නේ විදුලියයි. මේ අති විශාල නගරය සඳහා දැවැන්ත විදුලි සැපයුමක් සිදු කළ යුතුව ඇත. මෙරට විදුලි ඉල්ලුමට සරිලන පරිදි සියයට සියයක සැපයුමක් ලබා දිය නොහැකිව සිටින අවස්ථාවක ජාතික පද්ධතියෙන් මෙම වෙළෙඳ නගරය සඳහා විදුලිය ලබා දෙන්නේ කෙසේද? චීනෙන් බලාගාරයක් හදනවාද? නැතහොත් රටේ මිනිස්සුන්ගේ ලයිට් කපා මේ නගරය එළිය කරනවාද? යන්න පිළිබඳව විමසා බැලීම වටී. අගනගරය වූ කොළඹ මේ වන විට දිනක විදුලි අවශ්‍යතාව මෙගා වොට් දෙසිය පනහකට ආසන්නය. දැනට කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ප්‍රමාණය අනුව තවත් වසර දෙකකින් අවශ්‍ය වන විදුලි ප්‍රමාණය මෙගා වොට් හාරසියයකට ආසන්න වේ. කොළඹ වරාය නගරය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් මේ වන විට ඉල්ලා ඇති විදුලි ධාරිතාව මෙගා වොට් විස්සකි, නමුත් මේ ජාත්‍යන්තර වෙළෙඳ නගරය සම්පූර්ණ ඉදිකිරීම් අවසන් වන විට අවශ්‍ය විදුලි ප්‍රමාණය දිනකට මෙගා වොට් 365කි. වරාය නගරයේ සැලැස්ම අනුව 2035 වසරේදී මෙම සම්පූර්ණ විදුලි අවශ්‍යතාව සපයා දීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළ යුතුය. දෙදහස් තිස්පහ කෙසේ වෙතත් 2025 වසර වන විට අවම වශයෙන් දෛනිකව මෙගා වොට් 180ක් යැයි ගණන් බලා තිබේ. වරාය නගර ගිවිසුමට අනුව විදුලිය, ජලය, ආරක්ෂාව, මල අපවහනය කටයුතු සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා රජය විසිනි. මේ අනුව විදුලි බල මණ්ඩලය නව ජාත්‍යන්තර නගරයට විදුලිය ලබා දීම සඳහා කොළඹ කොටුව චෛත්‍ය පාරේ මෙගා වොට් පන්සියයක විදුලි උප පොළක් ඉදිකිරීම් ආරම්භ කර ඇත. කෙරවල පිටිය තාප විදුලි බලාගාරයේ සිට වොට් දෙලක්ෂ විසිදහසක සම්ප්‍රේෂණ මාර්ගයක් පොළොව අභ්‍යන්තරයෙන් මෙම උප පොළ හා සම්බන්ධ කර ඇති අතර නගරයේ සම්ප්‍රේෂණ කටයුතුද පොළොව අභ්‍යන්තරයෙන් දිවෙන සම්ප්‍රේෂණ මාර්ගවලින් සිදු වේ. නගරය ඇතුළත සම්ප්‍රේෂණ මාර්ග විදුලි බල මණ්ඩලයේ නිර්දේශ මත චීන සමාගමක් මගින් සිදු කෙරේ. නගරයේ මුල් අදියරේ ගොඩනැගිලි සඳහා විදුලිය ලබා දීම මෙම චීන සමාගම සිදු කරන අතර දෙවන අදියරේදී විදුලි බල මණ්ඩලය විසින් සිදු කළ යුතුය. මේ සම්ප්‍රේෂණ මාර්ග කොතරම් ඉක්මනින් නව තාක්ෂණයෙන් යුක්තව ඉදිකර අවසන් වුවද ගින්දර නොමැතිව හොද්ද ළිපේ තැබුවා වැනි ගැටලුවක් ඇත. එනම් කොළඹ ජාත්‍යන්තර වෙළෙඳ නගරයට මේ සම්ප්‍රේෂණ මාර්ග හරහා ලබා දීමට තරම් ලංකා විදුලි බල මණ්ඩලය සතුව විදුලිය නොමැති වීමය. මෙරට දිනක සමස්ත විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් හාරසියයකි. කොළඹ වරාය නගරය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා ඇති විදුලි ප්‍රමාණය මෙගා වොට් තුන්සියයකි. එම තුන්සියය මෙගා වොට් විස්සේ සිට වසරින් වසර කෙමෙන් කෙමෙන් වැඩි කළ යුත්තක් බව සැබෑය. නමුත් ඒ වැඩි කරන්නටද නොහැක්කේ දැනටත් මෙරට සමස්ත විදුලි පරිභෝජනයෙන් සීයට හයක ප්‍රමාණය අඩුවක් පවත්නා බැවිනි. බලාගාර නොමැතිව විදුලි උත්පාදනය කර ගැනීමට හැකියාවක් නොමැත. විදුලි බල මණ්ඩලය මැදිහත් වීමෙන් ගල්අඟුරු මගින් 50.4%ක් ද, දැවි තෙල් මගින් 19.26%ක් ද රාජ්‍ය නොවන කර්මාන්ත විසින් මිලදී ගන්නා ලද ෆොසිල ඉන්ධන මගින් 18.65%ක් ද, ප්‍රධාන ජලමූලාශ්‍ර මගින් 10.8%ක් ද, කුඩා ජල විදුලි බලාගාර මඟින් 0.4%ක් ද, සුළං මගින් 0.3%ක් ද වශයෙන් ජනනය කර ගනු ලබන ජාතික විදුලි උත්පාදනය මෙසේ පහළ මට්ටමක තිබියදී ජාත්‍යන්තර ගණයේ නගරයකට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් තිබේද ? මෙරට විදුලි අවශ්‍යතාව වාර්ෂිකව දළ වශයෙන් මෙගා වොට් එකසිය පනහත් දෙසිය පනහත් අතර ප්‍රමාණයකින් ඉහළ යයි. මෙම ඉහළ යන ඉල්ලුමට සැපයුම ලබා දීම සඳහා විදුලි බලාගාරයක් අවසන් වරට ඉදිවුණේ 2012 වසරේදීය. ඒ නොරොච්චෝලේ බලාගාරයය. එතැන් සිට වසරක් පාසා වැඩිවෙමින් ඇති ඉල්ලුමට සැපයුම ලබා දෙන්නේ පුද්ගලික අංශයෙන් ඉන්ධන මගින් ජනනය කරනු ලබන විදුලිය රජය මගින් මිලදී ගෙනය. විදුලි බල මණ්ඩලයේ බලාගාරවලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සඳහා රුපියල් 21ක් වැය වන අතර එය ජනතාවට ලබා දෙන්නේ රුපියල් 16-17 අතර මුදලකටය. නමුත් පුද්ගලික අංශයෙන් ඒකකයක් මිලදී ගන්නට සිදු වන්නේ රුපියල් 30කටය. එය ලබා දිය යුත්තේ සාමාන්‍ය මුදලටය. 2001 වසරේ ඉදි කිරීමට තිබූ නොරොච්චෝලේ බලාගාරය විවිධ හේතු නිසා ඉදිකිරීම් ප්‍රමාද වෙමින් 2011 වසර දක්වා ඇදි ඇදී ආවේය. මේ නිසා එම විදුලි ඉල්ලුමට අනුව මණ්ඩලයට පුද්ගලික අංශයෙන් එම වසර දහයේ දී රුපියල් බිලියන 900ට ආසන්න වියදමක් දරමින් විදුලිය මිලදී ගැනීමට සිදු විය. කොළඹ වෙළෙඳ නගරය සඳහාද විදුලි බල මණ්ඩලය කෙසේ හෝ විදුලිය සැපයිය යුතුය. ඒ රටේ සාමාන්‍ය විදුලි සැපයුම් නීති රීති යටතේ පවතින සාමාන්‍ය මිල ගණන්වලටමය. මේ නගරයට විදුලිය අවශ්‍යතාව විනා ඒ විදුලිය මණ්ඩලය නිපදවන අාකාරය ගිවිසුම්කරුවන්ට අදාළ නැත. එම නිසා බලාගාර ඉදිකර හෝ එසේත් නැත්නම් පුද්ගලික අංශයෙන් හෝ මිලදී ගෙන විදුලිය සැපයිය යුතුය. ජාතික පද්ධතියේ පවතින තත්ත්වය මත කෙසේවත් මේ අවශ්‍යතාව සැපිරිය නොහැක. විදුලි බල මණ්ඩලය රටේ විදුලි අවශ්‍යතාවන් පිළිබඳව අධ්‍යයනය කරමින් වසර දෙකෙන් දෙකට රටට අවශ්‍ය විදුලි උත්පාදනය කර ගැනීම සඳහා වන සැලසුම් සකස් කරනු ලබයි. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර නගරය සඳහා බලාපොරොත්තු වූයේ 2019 වසරේ ඉදිකිරීමට නියමිත මෙගා වොට් 350ක ස්වාභාවික තාප විදුලි බලාගාරය, සහ තවත් මෙගා වොට් 70ක බලාගාරයක් මගින් ජනනය කරන විදුලිය ලබා දීමටය. නමුත් මේ තාප විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නිසා එම ඉදිකිරීම් තවත් ප්‍රමාද වනු ඇත. එසේම 2021 වසරේ කෙරවලපිටියේ තවත් මෙගා වොට් තුන්සියයක බලාගාරයක් ඉදිකිරීමට නියමිතය. නැවත 2024 වසරේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්දියානු සමාගමක් මෙගා වොට් 300ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. නමුත් සමාජ, ආර්ථික, දේශපාලන සහ පරිසර සාධක අනුව මෙම බලාගාර සැලසුම් කළ පරිදි ඉදිකළ හැකි වනු ඇතැයි සහතික විය නොහැක. ‘‘මේ නගරයට විදුලිය ලබා දෙන්න අපට පුළුවන් වෙන්නේ මේ අවශ්‍යතාව සපුරන්න හැකියාව තිබෙන බලාගාර ඉදිවුණොත් පමණයි. දැනට නගරයේ මූලික ඉදිකිරීම් පමණක් ඉදිවෙමින් පවතින නිසා අර්බුදයක් හට ගෙන නැහැ. නමුත් ඉල්ලුම එන්න එන්න වැඩි වන විට මේ බලාගාර කඩිනමින් ඉදි නොවුණොත් යම් අර්බුදයකට මුහුණ දෙන්න සිදු වේවි. 2031 දක්වා බලාගාර ඉදිකිරීමට සැලසුම් කරලා තියනවා. අපේ ඉල්ලුමට සැපයුම අඛණ්ඩව ලබා දෙන්න නම් 2028 දී සහ තිස් එකේදී මෙගා වොට් 600ක බලාගාර අවශ්‍ය වෙනවා. ‘ කොළඹ වරාය නගරය සඳහා විදුලිය ලබා දීමට යාමේදී ඇතිවිය හැකි අර්බුද පිළිබඳ අදහස් දක්වන විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි. මේ තත්ත්වය අනුව පෙනී යන්නේ විදුලි අර්බුදය කොළඹ වරාය නගරයට පමණක් නොව මුළු රටටම බලපාන ගැටලුවක් බවට පත්වී ඇති බවය. නම සඳහන් නොකරන්නැයි ඉල්ලමින් අප සමග අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු පැවසුවේ පවතින තත්ත්වය හමුවේ විදුලි බලාගාරයක් අඩපණ වුවහොත් සම්පූර්ණ විදුලි බල පද්ධතියම අක්‍රිය වී විශාල ගැටලුවකට මුහුණ දෙන්නට වන තත්ත්වයට මෙම අර්බුදය ඔඩු දුවා ඇති බවය. විදුලි බල මණ්ඩලය තමන්ට ඉල්ලුමට අනුව සැපයුම ලබා දිය හැකි බව පවසන්නේ පුද්ගලික අංශයෙන් ඕනෑම අවස්ථාවක විදුලිය මිලදී ගැනීමට ඇති හැකියාව නිසාය. එහෙත් හදිසි තත්ත්වයක් යටතේ පුද්ගලික අංශයේ බලාගාරවලින් මෙගා වොට් සියය ඉක්ම වූ ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමේ හැකියාවක් නොමැත. විශාල විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කර ගැනීමට හැකිවන පරිදි විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකර නොමැති නිසාය. එම සම්ප්‍රේෂණ මාර්ග නැවත පුද්ගලික බලාගාර හා සම්බන්ධ කිරීමට අඩුම තරමින් වසර දෙකක්වත් ගතවනු ඇත. එසේම විදුලි බලාගාරයක් ඉදිකිරීමට ද අවම වසර දෙකක් ගතවනු ඇත. මේ තත්ත්වය යටතේ දැනට වරාය නගරයට හෝ රටේ ජාතික විදුලි අවශ්‍යතාව හෝ සියයට සියයක් සම්පූර්ණ කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් නැත. පුද්ගලික අංශයෙන් මිලදී ගෙන වරාය නගරයට විදුලිය සැපයීමට මණ්ඩලය කටයුතු කළද එම අධික වියදමේ බර පැටවෙනු ඇත්තේද රටේ ජනතාව මතය. කසුන් ගනේවත්ත
 

More News..