brand logo

රජය ‘මාළුවෙක්’ වෙනුවට බිලීපිත්තක් දීලා තියෙනවා

19 November 2020

2021 වර්ෂය සඳහා වූ අයවැය පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලදී. රටේ ඉදිරි ගමනට හිතකරද? ජනතාවට ඉන් සහනයන් සැලසෙන්නේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග කළ සංවාදයයි මේ. ‍කොවිඩ් වසංගතය හමුවේ රට දැඩි ආර්ථික අර්බුදයක සිටින මොහොතක ඉදිරිපත් කළ මෙවර අයවැය ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයෙක් විදිහට ඔබ දකින්නේ මොන විදිහටද? පළමුවෙන් මා දකින්නෙ මේ අයවැය රජය නිවැරැදි දැක්මක් සහිතව ඉදිරිපත් කළ අයවැයක් විදිහට. එහෙම කියන්න පදනම වෙන්නෙ රජයේ ආයෝජන වැඩිකිරීමට අරගෙන තියෙන තීරණය දිහා බලල. 2020 රාජ්‍ය ආයෝජන තිබුණෙ දළ දේශීය නිෂ්පාදිතයෙ ප්‍රතිශතයක් විදිහට 2.1%යි. 2021දි ඒක 6.1%යි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට. මේ විදිහට රාජ්‍ය ආයෝජන වැඩිකිරීමට ගෙන ඇති තීරණය ඉතාමත් ධනාත්මකයි. මේ මොහොතෙ විදේශ ආයෝජන සහ දේශීය ව්‍යාපාරික ආයෝජන කෙරෙහි විශාල බලාපොරොත්තු දල්වා ඉන්න බෑ. ඒ පවතින ආර්ථික අවිනිශ්චිතතාව නිසා. කාටවත් පුරෝකථන දෙන්න බෑ මේ කොවිඩ් වසංගතය ඊළඟ මොහොතේ පැතිරෙන ආකාරය සහ ඒ අනුව භාණ්ඩ සඳහා විදේශීය වෙළෙඳපොළේ ඉල්ලුමේ හැසිරීම ගැන. එවැනි අවිනිශ්චිතතාවක් මත මේ මොහොතේ රජය තමයි ආර්ථිකය තුළ ප්‍රබල භූමිකාවක් රඟපාන්න ඕන. ඒ දැක්මෙන් බැලුවොත් රජය යම්තාක් දුරකට ඒ බර කරට අරගෙන තියෙන බවක් පේනවා. අයවැයකින් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නෙ සහන මලු. අයවැය ජනතාවාදී අයවැයක් ලෙස හැඳින්වෙන්නෙ එවිට. එහෙම සහන බැලු බැල්මට මේ අයවැය තුළ නෑ. ඒ අර්ථයෙන් මේ අයවැය ජනතාවාදී අයවැයක් නොවෙයිද? ජනතාව පැත්තෙන් යම් තීන්දු තීරණ අරන් තියෙනව. උදාහරණයක් විදිහට කෘෂිකාර්මික අංශය නගා සිටුවීමට ගෙන ඇති තීරණයන්. කෘෂි කටයුතුවල යෙදෙන විශාල සමාගම් ආදායම් බද්දෙන් නිදහස් කිරීම ධනාත්මක තීරණයක්. ඒක සුළු පරිමාණ ගොවියා කෙරෙහි සෘජුවම බලපෑමක් වෙන්නෙ නැති වුණත් සමස්ත කෘෂිකර්මාන්තය දියුණු කරනවා කියන්නෙ එහි සමස්ත ප්‍රතිඵල අනෙක් පර්ශ්වයන්ටත් ලැබෙනව කියන එක. ඒ වගේම ආනයන පාලනයට තීන්දු තීරණ ගැනීම වගේ දේවල් දේශීය ගොවියට යම් මිලක් ලැබෙනව කියන එක සහතික කිරීමක්. ඒ වගේම තරුණ ව්‍යවසායකත්වය නගාසිටුවීමට අදාළව ණය පහසුකම් ලබාදීම, සමෘද්ධි ප්‍රතිලාභ පිරිසට ණය පහසුකම් ලබාදීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් තියෙනව. සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත හා ව්‍යාපාරවල සේවකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම මෙවැනි අර්බුදයන් හමුවේ සේවකයන්ගෙ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් තවත් හොඳ තීරණයක්. ඒව ජනතාව පැත්තෙන් හිතල ගත් තීරණ. ඒව සමාජ ආරක්ෂණ වැඩසටහන්. ඔබ පවසන්නෙ මේක සහන මලුවලින් ඔබ්බට ගිය අයවැයක් කියලද? බැලූ බැල්මට මේ අයවැයෙන් සැමන් අඩුවීම, හෝ පරිප්පු අඩුවීම සිදුවී නෑ තමයි. නමුත් රජය හුදු සහනමලු ලබාදීමෙන් ඔබ්බට ගිහින් යම්කිසි ආර්ථික අවස්ථාවන් උදාකර දීමක් කරල තියෙනව. මේ රජය ‘මාළුවෙක්’ නොදී ‘බිලීපිත්තක්’ දෙන්න තමයි උත්සාහ කරල තියෙන්නෙ. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනව. ‘මාළුවා දෙනව’ කියන එක මේ අවස්ථාවෙදි රජයට කළ හැකි දෙයක් නොවෙයි, එහෙම කළා කියල ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නෙත් නෑ. රජය මීට පෙර සමෘද්ධිලාභීන්ට රැකියා ලක්ෂයක් ලබාදීමට තීරණය කර තිබුණ. උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න තීන්දු ගත්ත. මේ රජය බලය ලබාගත් මොහොතෙම වැට් බද්ද අඩුකරල බදුසහන ලබාදුන්න. ඒවත් සක්‍රීය පරිසරයක තමයි නව වැඩසටහන ක්‍රියාත්මක කරල තියෙන්නෙ. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තම ඕනම පුද්ගලයකුට තේරෙනව දීල තියෙන සහන ඒ විදිහට ක්‍රියාත්මක කරනවා හැරෙන්න, තියෙන තත්ත්වය යටතෙ නව සහන දෙන්න රජයට මුදල් නැති බව. එහෙම වුණත් තවමත් ‘මාළුම’ ලැබෙනකම් බලා ඉන්න සමාජයක් තමයි තියෙන්නෙ. එවැනි දේට ජනතාව උසිගැන්වීම තමයි විපක්ෂය කරන්නෙ. එනිසා බිලී පිත්තෙන් වැඩගන්න ජනතාව බලමුළුගැන්වීමේ අභියෝගය රජයට තියෙනව නේද? සමාජය තුළ යම්කිසි පිරිසක් ඉන්න පුළුවන් අයවැයකින් ක්ෂණික සහන ලබාදෙයි කියල හිතන. එහෙම පිරිසත් හිත යටින් දන්නව මේ අවස්ථාවෙදි අපේ රට විතරක් නෙමේ ලෝකයෙම ආර්ථිකය තියෙන්නෙත් හොඳ තත්ත්වයක නෙමෙයි කියල. යම්කිසි ආකාරයකින් රජය සහන ලබාදුන්නත් ඒක තිරසාර නොවන බවත් බොහෝදෙනා දන්නව. කොවිඩ් අර්බුදය නිසා පළමු කාර්තුවෙදි රජය රුපියල් 5000 දීමනා දෙකක් ලබාදුන්න. මේ පවතින කොවිඩ් තත්ත්වය තුළ ලොක්ඩවුන් කළ ප්‍රදේශවලට නැවතත් රුපියල් 5000 දීමනාව දෙන්න වුණා. ඒ නිසා මම හිතන්නෙ නෑ අතාර්කිකව ජනතාව කිසිවෙකුට පොලඹවන්න පුළුවන් වෙයි කියල ‘අරක දියව්, මේක දියව්’ කියල. මෙවර අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ වගකීම විය යුත්තේ කුමක්ද? විපක්ෂයට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ අයවැය සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් වීම තුළ ඊට අදාළ කටයුතු සිදුවෙනවද නැද්ද, එය ප්‍රායෝගිකද නැද්ද? කියන තලයෙ ඉඳල තර්ක කරන එක. ඒක තමයි වඩා යෝග්‍යය. විපක්ෂයට මේ අවස්ථාවෙ සහන ලබානොදීම කියන එක මතුකරල ජනතාව ඒ පැත්තට අරගෙන යන්න බැරිවේවි. නමුත් අයවැය කියවා වැඩිවෙලාවක් ගතවෙන්නත් කලින් සමාජ මාධ්‍ය තුළ ගුරුවැටුප් විෂමතා ඉවත් නොකිරීම ගැන විවේචනයන් පළවුණා... ඒ ආකාරයේ විසඳුම්වලට යන්න මේක අවස්ථාවක් නෙමේ කියන එක ඕනම කෙනකුට තේරුම් ගන්න පුළුවන්. වැටුප් වැඩිකිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, රාජ්‍ය සේවයට බඳවා ගැනීම වැනි දේවල් කරන්න මේ අවස්ථාවක් නෙමේ කියන එක ගුරුවරු වැනි උගත් පිරිසකට තේරුම් ගැනීමේ හැකියාවක් නැතිවෙන්න බෑ. කාට හරි ඒක මතුකරන්න පුළුවන්. නමුත් ඒව ‘මේ මොහොතෙ’ හුදු දේශපාලන සටන්පාඨ විතරයි. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සටන්පාඨ මතුවෙන්නෙ නැත්තෙ හැමෝම අවබෝධ කරගෙන තියෙනව රටේ පමණක් නෙමෙයි ගෝලීය වශයෙන් තියෙන මේ අර්බුදය ගැන. රජයට තියෙන ප්‍රධාන අභියෝගය මෙතන ඉඳල තියෙන තත්ත්වය පවත්වාගෙන යෑම. මොනව හරි බෙදාහදාගන්න නම් යමක් තිබිය යුතුයිනෙ. දැන් තියෙන තත්ත්වය එහෙම දෙයක් ආර්ථිකය තුළ නෑ. ඒ නිසා නව ආර්ථික අවස්ථාවන් ඇතිකරන්න ඕන, යම් සංවර්ධන ක්‍රියාවලියක් රට තුළ ඇතිකරන්න ඕන ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ බෙදන්න නම්. ඒ නිසා අයවැයෙන් යෝජනා කරල තියෙන සංවර්ධන අවස්ථා යථාර්ථයක් කරගත්තොත් බෙදීම ඉදිරි අවුරුදුවලදී කරන්න පුළුවන්. එහෙම නැතිව මේ අවස්ථාවෙදි බෙදීම කරන්න ගියොත් ඒක හරියට ගෙඩි එන්න කලින් ගහේ කොළ කනව වගේ වැඩක්. ආරක්ෂක වියදම්වලට තමයි මෙවර අයවැයෙන් වැඩිම බරතැබීමක් කරල තියෙන්නෙ. රට තුළ යුද්ධයක් නැති පසුබිමක ආරක්ෂක වියදම් වෙනුවෙන් මෙතරම් මුදලක් වෙන්වීම කොහොමද විග්‍රහ කළ හැක්කේ....? ආරක්ෂක වියදම් පුළුල්වීම ප්‍රශ්නයක් තමයි. අපි දන්නව යුද්ධයට පෙර තිබුණු ප්‍රධාන තර්කය තමයි යුද වියදම් ආර්ථිකයට බරක්, ඒ වියදම් ආර්ථික සංවර්ධනයට ප්‍රබල බාධාවක් කියල. ඒත් යුද්ධය අවසන්වෙලත්, ඉන් පස්සෙ ඒ වෙනුවෙන් කරන වියදම් අඩුකරන්න තවම අපට හැකිවෙලා නෑ. මොනවටද මේ යුද වියදම් වැයවෙන්නෙ කියල මේ අයවැය තුළින් පැහැදිලිව හඳුනගන්න බෑ. කොවිඩ් අර්බුදය නිසා ආරක්ෂක අංශ යම් මැදිහත්වීමක් කරන බව ඇත්ත. ඒ මැදිහත්වීමට එතරම්ම මුදල් ප්‍රමාණයක් අවශ්‍යයද? ඒව වෙන්කරල තියෙන්නෙ යටිතල පහසුකම් වෙනුවෙන්. මොනවද ඒ යටිතල පහසුකම් කියල රජය කිව යුතුයි. මෙතනදි පැහැදිලි කරගත යුත්තෙ ආරක්ෂක වියදම් පුළුල් කිරීම කොතෙක් දුරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වෙනවද කියන එක. ඒ නිසා රජය එවැනි අංශ ගැන සලකා බැලීමක් කළ යුතුමයි. මේ වියදම් වෙන්නෙ මොකටද කියල දන්නෙ නැති නිසා අපේ විවේචනයක් තියෙන්න පුළුවන්. එහෙම නම් රජය පැහැදිලි කළ යුතුයි අත්‍යවශ්‍යයෙන්ම මේ වියදමින් කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙනුත් මෙවර යම් සැලකිල්ලක් දක්වා තියෙනව... අධ්‍යාපනයට අවධානය යොමුවීම හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල බවට පත්කරන්න අරන් තියෙන තීරණය, දුරස්ථ අධ්‍යාපනය පුළුල් කිරීමට අරන් තියෙන තීරණය, පාසල් නවීකරණයට අරන් තියෙන තීරණ හුඟක් හොඳයි. ඉන් පැහැදිලි වෙනව අධ්‍යාපනයට මොන වගේ අවස්ථාවන් සඳහාද වියදම් වෙන්නෙ කියන එක. රජය බලාපොරොත්තු වෙනව කුසලතා වර්ධනය කිරීම මගින් දේශීය ශ්‍රම වෙළෙඳපොළට වඩා විදේශීය වෙළෙඳපොළටත් ශ්‍රමිකයන් සූදානම් කිරීමට අදාළව යම් පියවරක් තැබීමට. ඒක හොඳ තත්ත්වයක්. මේ අයවැය තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය රටේ ආදායම ඉහළ නංවාගැනීමට ඉවහල් වෙයිද? රජය අවබෝධ කරගෙන තියෙන නව බදු පැනවීමට තියෙන ඉඩකඩ ඉතා සීමාසහිතයි කියල. එය පවතින ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර කරන්න හේතුවෙනව කියල. එනිසා රජය උත්සාහ කරල තියෙන්නෙ එකතු කළ හැකි බදු ප්‍රමාණය උපරිම වශයෙන් එකතුකර ගැනීමට අදාළව බදු යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට. ඒක හොඳයි. අපි පොදුවේ පිළිගන්න දෙයක් තමයි ලංකාවේ බදු ආදායම පහළ මට්ටමට පත්වීමට එක හේතුවක් ලෙස බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ අකාර්යක්ෂමභාවය. ඒ නිසා බදු පැහැර හරින්න වැඩි ඉඩක් ලැබී තියෙනව වගේම බදු පැහැර හරින්නන් හොයාගන්න බැරිවෙලා තියෙනව. ඒ පැහැර හරින ප්‍රමාණය අඩුකරගන්න පුළුවන් නම් ඒකත් මෙවැනි තත්ත්වයක් යටතේ යහපත් දෙයක් අලුතෙන් බදු පනවනව වෙනුවට. මෙවැනි සාධනීය යෝජනාවන් ඉදිරිපත් වුණාට ක්‍රියාත්මක තලයට යද්දි ආයෙත් පරණ මාර්ගයේම යන ඉතිහාසය අලුත් වුණොත් ඉන් පලක් වන්නෙ නෑ. මේ අයවැයෙන් රජය 6%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනව. එවැනි ඉලක්ක එක අයවැයකින් සපුරාගන්න පුළුවන්ද? අයවැය පරතරය 5%ට අඩුකිරීම, ණය බර 90% සිට 70% දක්වා ගෙන ඒම, උද්ධමනය 5%ට ගෙන ඒම, ආර්ථික වර්ධනය 6%ක මට්ටමට ගෙන ඒම වැනි ඉලක්ක තිබීම වැදගත්. නමුත් ඒ ඉලක්කයන් වෙත යන්න එක අයවැයකින් බෑ. ඒ නිසා ඊළඟට එන අයවැයකින් ඒ ප්‍රතිපත්ති තිරසාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වෙනව. ඒ හික්මීමයි ඇතිකරගත යුත්තෙ. අපි දන්න ඉතිහාසයෙ තියෙන දේ තමයි එක අයවැයකින් ගන්න ප්‍රතිපත්ති තීන්දු තීරණවලට හාත්පසින්ම වෙනස් තීන්දු තීරණ ඊළඟ අයවැයෙන් ගන්නව. එවැනි තත්ත්වයකින් තොරව මේ ගත්ත තීරණ හොඳ අතකට පරිවර්තනය කරගෙන ඉදිරියට ගමන් කිරීමයි වියයුත්තේ. ඒ දේ සිදුවුණොත් තමයි සෞභාග්‍යයේ දැක්ම තුළ තියෙන කරුණු යථාර්ථයක් වෙන්නෙ. ඒ නිසා එක් අයවැයක් දිහා බලල සියල්ල සාර්ථකයි කියන නිගමනයට එන එක නුවණට හුරු නෑ. අයවැය යෝජනා යථාර්ථයක් බවට පත්කර ගැනීමට මොන වගේ කැපකිරීමක්ද රජය පාර්ශ්වයෙන් සිදුවිය යුත්තේ...? පළමු අත්‍යවශ්‍ය දේ තමයි අයවැය තුළින් යෝජනා කරල තියෙන යෝජනාවන් ඒවායේ නියම අර්ථයෙන් ක්‍රියාත්මක කිරීම. අපි සාමාන්‍යයෙන් අත්දකින යථාර්ථය තමයි අයවැය යෝජනා කරන අවස්ථාවෙ ඉතාමත්ම සාධනීයයි, නිර්මලයි. නමුත් ක්‍රියාත්මක තලයෙදි ඉතාම අකාර්යක්ෂමයි. ඒ නිසා මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශ මට්ටමින් රජයට ඵලදායී නොවන වියදම් කපා හැරීම වැදගත්. විශේෂයෙන් ප්‍රදර්ශනාත්මක දේවල් වෙනුවෙන් කරන වියදම් අඩුකිරීම ගැන සියලු අමාත්‍යවරුන්ගෙ අවධානය යොමුවිය යුතුයි. තම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කරන හැම රුපියලක්ම ආයෝජනයක් වෙනව නම් මේ ඉලක්ක ජය ගැනීම අසීරු නෑ. නමුත් අපේ ඉතිහාසය දිහා බැලීමෙදි පේන්නෙ අයවැය කාලයෙදි ඒ යෝජනා ගැන තර්ක විතර්ක කරනව. හැබැයි මාස දෙකෙන් අයවැය ගැන මතක නෑ. ඊට පස්සෙ ඊළඟ අයවැයට අදාළ සාකච්ඡා කරනව. නමුත් ඊට පෙර අවුරුද්දෙ අයවැයෙන් යෝජනා කළ දේවලින් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණාද, ඒ සඳහා වෙන් කළ මුදල්වලින් කොපමණ ප්‍රතිශතයක් වැයවුණාද, ඒ අපේක්ෂා කළ ප්‍රතිලාභ ලැබුණද කියන පසු විපරමක් කිසිවිටකත් වෙන්නෙ නෑ. ඒ නිසා අපිට දැනෙන ප්‍රතිලාභයක් අවුරුද්ද අවසානයෙදි ලැබෙන්නෙ නෑ. රජයක් වශයෙන් ඉතා හොඳ පසු ඇගයීමකින් යුතුව මේ කටයුතු සිද්ධවෙනවද කියන එක සොයාබලන ගමන්, ඇමැතිවරු වියදම් කරන හැම රුපියලක් ගැන රාජ්‍ය යාන්ත්‍රණයට වගකියන ආකාරයෙන් වියදම් සිදුකිරීමයි විය යුත්තේ. •සංවාදය - ලක්මාල් බෝගහවත්ත
 

More News..