brand logo

රජය අපකීර්තියට පත් කිරීමට බොරු ගෙතූ ස්විස් නිලධාරිනිය රිමාන්ඩ්

17 December 2019

තමන් පැහැරගෙන යාමට ලක්වූ බව සඳහන් කළ ස්විට්ස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය මෙම 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (16 වැනිදා) නියෝග කළාය. මෙකී කාන්තාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ල ඇය විසින්ම ගොතන ලද්දක් බවත් එය ඇයගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද නැතිනම් ඒ පිටුපස තවත් පුද්ගලයන් සිටිනවාද යන්න පිළිබඳ විමර්ශන සිදුකළ යුතුව ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට පැවැසීය. එහෙයින් ඇය ඇප මත මුදාහරිනු ලැබුවහොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. රක්ෂිත බන්ධනාගාරගත කළ මෙම කාන්තාව මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙම මස 17 වැනිදා අංගොඩ මානසික වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලදී. එමෙන්ම රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකාර කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් වන තෙක් දීර්ඝ කරන බවද නිවේදනය කළාය. මෙම කාන්තාව ඊයේ (16 වැනිදා) ප්‍රකාශ ලබාදීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනී සිටියාය. ප්‍රකාශ සටහන් ගැනීම අවසන් වීමෙන් පසු රහස් පොලිසිය විසින් එම තැනැත්තිය අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මෙම සිද්ධිය සැකකාර කාන්තාව විසින් ගොතන ලද කතාවක් බව සඳහන් කර සිටියේය. මැය ඉකුත් නොවැම්බර් මස 25 වැනිදා කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ආසන්නයේ පිහිටි මේට්ලන්ඩ් ක්‍රසන්ට් නමැති මාර්ගයේදී පැහැර ගැනීමකට භාජන වී ඇති බව සඳහන් විය.ස්විට්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරී රාහුල් ඉන්බැච් විසින් ඒ බව විදේශ අමාත්‍යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබුණු බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා එහෙත් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අවට සීසීටීවී දර්ශනවලින් එවැනි පැහැර ගැනීමක් පිළිබඳව කිසිඳු තොරතුරක් අනාවරණය නොවන බවද සඳහන් කර සිටියේය. එමෙන්ම අදාළ කාන්තාවගෙන් රහස් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නොවැම්බර් මස 25 වැනිදා සවස තමා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ගුරුවරියක පදිංචිව සිටින බම්බලපිටිය, පැල්මයිරා ප්‍ර​දේශයේ පිහිටි මහල් නිවසකට ගිය බවත් එම නිවසේ සාලයේදී කිසියම් පිරිසක් විසින් තමන්ට පහරදී තර්ජනය කර රහස් පොලිසියේ නිශාන්ත සිල්වා නමැති නිලධාරියාගේ විදේශගත වීම පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඇය ප්‍රකාශ කර තිබෙන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය. පැල්මයිරා නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පද්ධති සහ මුරකරුගෙන් කළ විමසීම්වලදී පැහැර ගැනීමක් සඳහා පැමිණි පුද්ගලයන් පිළිබඳ කිසිඳු අනාවරණයක් නොවන බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. පැල්මයිරා මහල් නිවාස සංකීර්ණයේ සීසීටීවී දර්ශනවලට අනුව එදින පස්වරු 5.01ට මෙම කාන්තාව එම මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට එන ආකාරයක් දිස්වන බව රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඉන්පසුව බම්බලපිටිය දෙසට පැමිණ ත්‍රිරෝද රථයකින් පිටවන ආකාරයක් නිරීක්ෂණය වන බව ද අධිකරණය හමුවේ සඳහන් කළේය. බම්බලපිටියෙන් නැගී එම ත්‍රිරෝද රථයෙන් එදින 5.38ට සැකකාර කාන්තාව මාලිගාකන්දේ පිහිටි ඇයගේ නිවසට පැමිණෙනු එම ස්ථානයේ තිබෙන සීසීටීවී දර්ශනවලින් අනාවරණය වන බවද අධිකරණය හමුවේ සඳහන් කළේය. ​මේ පිළිබඳව පැල්මයිරා පෙදෙසේ පිහිටි මහල් නිවාසයක පදිංචි අදාළ නිවසේ හිමිකාර ගුරුවරියගෙන් විමසීම් කළ අවස්ථාවේදී තම නිවෙසේ සැකකාර කාන්තාව සඳහන් කරන ආකාරයේ සිදුවීමක් නොවූ බව ඇය ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දුන්නේය. එමෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇය​ගේ ශරිරයේ තුවාල කිසිවක් අනාවරණය කරගෙන නොමැති බවද ප්‍රකාශ විය. ඒ අනුව ස්විට්ස්ටර්ලන්ත තානාපති කාර්යාලය මෙන්ම පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව ද පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර මෙන්ම සැක සහිත බැවින් මෙම තැනැත්තිය දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 යන වගන්ති යටතේ සැකකාරියක් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දුන් බව රජයේ නීතිඥවරයා කියා සිටියේය. මෙහිදී අදාළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව අධිකරණයට ඇප ලබා දිය හැකි වැරදි බැවින් ඇය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. එහෙත් සැකකාරිය විමර්ශනවලට නිසි පරිදි සහාය ලබා දීමක්ද සිදු කර නොමැති හෙයින් ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් ඇය ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය. රක්ෂිත බන්ධනාගාර ගත කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය ශ්‍රියාලතා පෙරේරා යන නමින් හඳුන්වන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර අවධාරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් ඊයේ (16 වැනිදා) කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම සැකකාර කාන්තාව ශ්‍රියාලතා පෙරේරා බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවයි. එහෙත් විමර්ශනවලදී ඇයට ශ්‍රියාලතා පෙරේරා යනුවෙන් නමක් පැවැති බවට අනාවරණය නොවූ බවත් සඳහන් කළේය. විවාහයට පෙර ඇය ගානියා බැරිස්ටර් සේවියර් යන නමින් හැඳින්වුණු බවට ද අනාවරණය කළේය.
 

More News..