brand logo

රඟපාන්න එනකොට කැමරාවක්වත් දැකල තිබුණෙ නෑ

14 July 2021

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘හදවිල අරණ’ ටෙලි නාට්‍ය තුළින් පුංචි තිරයට හඳුන්වා දෙන නවක යොවුන් නිළියක් තමයි භද්දකච්චායනා රාජපක්ෂ කියන්නේ කලා පවුලකින් පැවත එන ඇයත් සමග පිනිපලස පිළිසඳරක යෙදුණා.

මුලින්ම කියන්න ඔබට රඟපාන්න ලැබුණු කුලුඳුල් රංගනය ගැන.

හදවිල අරණේ උදාරිගේ චරිතය විශේෂ එකක්. ඇය බොළඳ තරුණියක් නොවෙයි. බොහොම සාධාරණ, කෙළින් කතා කරන, එක්තරා දුරකට රැඩිකල් චරිතයක් කියන්න පුළුවන්.

වයසින් වැඩි වුණත් මගේ සැබෑ ජීවිතයේ ගතිගුණවලට හුඟාක් සමීප චරිතයක්

එවැනි රැඩිකල් චරිතයක් ප්‍රථම රංගනයේදී ම ලැබීම අභියෝගයක් වුණේ නැද්ද?

උදාරි කියන්නේ වයස අවුරුදු විසි හයක විවාහ අපේක්ෂක තරුණියක්. වයසින් වැඩි වුණත් මගේ සැබෑ ජීවිතයේ ගතිගුණවලට හුඟාක් සමීප චරිතයක්. ඒ නිසා මම මේ අභියෝගයට ඉතා ම ආසාවෙන් මුහුණ දුන්නා.

කොහොමද හදිසියේ ම මෙවැනි රංගනයකට අවස්ථාවක් ලැබුණේ?

මගේ අම්මා නොරිකෝ අබේසේකර. කලා පවුලක කෙනෙක්නේ. ඉතිං ඒ හැඳුනුම්කම් මත ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ මේ ටෙලි නාට්‍යයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා.

තිස්ස අබේසේකර කියන්නේ මගේ සීයා

අබේසේකර කියන්නේ සිනමා කලාවට පුරුදු නමක්. ඔබගේ සම්බන්ධය මොකක්ද?

ඔව්. තිස්ස අබේසේකර කියන්නේ මගේ සීයා. එතකොට සුවිනීතා වීරසිංහ තමයි ආච්චි අම්මා.

ඔබ නිරායාසයෙන් ම පළපුරුදු ආකාරයෙන් එහි රංගනය කරනවා. මේ ජානයෙන් ම එන හැකියාවක් කියලා කිව්වොත්. ඔබට ආච්චි අම්මාගේ හැඩරුවත් ඇවිත් තියෙනවා නේද?

මගේ සීයා සිනමා කලාවට විශාල මෙහෙවරක් කළ විශිෂ්ටයෙක්. මගේ ආච්චි අම්මා යුගයක මතක සටහන් තබපු සම්මානනීය නිළියක්. ඒ වගේ ම මගේ අප්පච්චි නරේන්ද්‍ර රාජපක්ෂ වේදිකා නාට්‍ය කීපයක්ම කරලා තියෙනවා. ඒ නිසා මගේ ලේවල රඟපෑම පිහිටලා තියෙනවා ඇති. ඊටත් වඩා මම රඟපානවා දකින්න අම්මත් අප්පච්චිත් දෙන්නම හුඟාක් ආසාවෙන් හිටියේ. මාත් මේ ක්ෂේත්‍රයට ආදරෙයි.

ඔබේ පවුලෙන් රංගනයට ආවේ ඔබ පමණයි ද?

මට අක්කා කෙනෙක් ඉන්නවා. සෂෙන්කා. ඇය ජාත්‍යන්තර පාසලක උපාධිධාරි ගුරුවරියක්. මගේ අයියා රාහුල් මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. රඟපෑම ගැන නම් උනන්දුවක් නෑ. ඒත් ඒ දෙන්නාත් ඇතුළුව මගේ පවුලෙන් මට උපරිම ම සහයෝගය ලැබෙනවා.

මගේ අධ්‍යාපනික ඉලක්කය වෛද්‍යවරියක් වීමයි

වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට දිගටම රැඳෙන්න බලාපොරොත්තු වෙනවා ද ?

ඇත්තටම මම තාමත් පාසල් ශිෂ්‍යාවක්. කොළඹ මියුසියස් විද්‍යාලයේ අපොස උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් ඉගෙන ගන්නේ. 2021 මේ අවුරුද්දේ විභාගයට ලියන්න බලාගෙන ඉන්නේ. මගේ අධ්‍යාපනික ඉලක්කය වෛද්‍යවරියක් වීමයි. ඒ අතරේ රඟපෑම කරන්නත් බලාපොරොත්තු වෙනවා.

උසස්පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නා ගමන් කොහොමද රඟපෑම වගේ දෙයක් කරන්නේ?

මගේ අම්මා මගේ හෙවණැල්ල. හොඳ නරක කියාදෙනවා විතරක් නොවෙයි අම්මා තමයි ඉගෙනීමයි රංගනයයි දෙක ම සමබර කරගන්න උදව් කරන්නේ. ඉගෙනීමේ පොඩි කොටසක්වත් මග හැරෙන්න දෙන්නේ නෑ. ෂූටින්වලට යනකොට අම්මයි අප්පච්චියි දෙන්නාම ආවා. ඒ ගියාමත් ෂූටිං නැති වෙලාවට මං පාඩම් කරමින් තමයි හිටියේ. කොහොමත් හදවිල අරණේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා සහ නිෂ්පාදක හේරත් වර්ණකුලසූරිය මහතාත් ඒ ගැන හුඟාක් සැලකිලිමත් වෙලා මගේ කොටස් ඉක්මනින් ඉවර කළා. ඒ වගේම නාට්‍යයේ රඟපෑව හැමෝම වගේ ප්‍රවීණ ශිල්පීන්. ඒ සැම දෙනාත් මට තේ එක ගෙනැත් දුන් කෙනාගේ ඉඳලා අධ්‍යක්ෂවරයා දක්වා සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් විශ්ව කොඩිකාර අයියා එක්ක තමයි මගේ කොටස් හුඟක්ම තිබුණේ. විශ්ව අයියා මට වරදින තැන් කියාදෙමින් ලොකුම සහයෝගයක් දුන්නා.

මින් ඉදිරියට ඔබ ලැබෙන ඕනෑම චරිතයක් භාරගන්නවා ද ?

ඇත්තටම මම තෝරා ගන්නේ මට ගැළපෙන චරිත පමණයි. තිර පිටපත් කියවා අම්මා සහ අප්පච්චිගේ අනුදැනුම මත තමයි තෝරා ගැනීම් කරන්නේ. දැනටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් විභාගය අත ළඟ නිසා ඒ ගැන වෙහෙස වෙන්න වෙනවා. විභාගයෙන් පසුව නැවතත් නිර්මාණයකට එකතු වෙන්න බලාගෙන ඉන්නවා. ඒ වුණත් නැවත නිර්මාණයකට දායක වෙන්න පෙරාතුව මම රංගනය ගැන හොඳ අධ්‍යයනයක් කරලා දැනුමක් අවබෝධයක් ලබාගන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද මම හදවිල අරණේ රඟපාන්න එනකොට ඇත්තටම රූගත කරන දර්ශන තලයක්වත් අඩුතරමින් කැමරාවක්වත් දැකලා තිබුණේ නෑ. ඒ නිසා ඒවා ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනෑ.

පාසලේදී ඔබ කලා කටයුතු කළා ද?

මම හය වසරේ ඉඳලා රවිබන්දු විද්‍යාපති ගුරුතුමාගෙන් තමයි නර්තනය ඉගෙන ගත්තේ. ඒ කාලයේ උඩරට නර්තන ප්‍රසංගවලටත් සම්බන්ධ වුණා. පාසලේදී නාට්‍ය හා රංගකලාව විෂයයක් විදිහට ඉගෙන ගත්තා. උසස්පෙළ ජීවවිද්‍යා අංශයට ගියාම ඒ කලා කටයුතු සේරම නැවතුණා. ඒ වුණත් දැන් මට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මනෝරා ප්‍රේමතිලක
 

More News..