brand logo

රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

23 December 2018

ඇල්පිටිය ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු සිකුරාදා (21) පෙරවරුවේ ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකරුවන් පෙරේදා (22) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ තල්ගහලියැද්ද, ඇල්පිටිය ලිපිනයේ පදිංචි ඉමදූව වික්‍රම සුජිත් පුෂ්ප කුමාර (32) සහ පූජ්‍යගල්ලෙන, ඇල්පිටිය ලිපිනයේ පදිංචි පොල්පිටිය ලියනගේ අසංක කුමාර (28) යන දෙදෙනාය. ඇල්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව ඇල්පිටිය, කෙට්ටගල රක්ෂිතයේදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් මීට පෙරද නිදන් හෑරීමේ නිරතව සිටි බවට ඇල්පිටිය පොලීසියට තොරතුරු ලැබී තිබෙන බවත් ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ තොරතුරු මත මෙවර ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව සැකකරුවන් අත් අඩංගුවට ගත් බවත් ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුවන් සමග නිදන් හෑරීමට උපයෝගී කර ගන්නා ලද අලවංගු, කපන කටු, ගල් විදින යන්ත්‍ර, විදින කටු, ගල් පිපිරවීම සදහා යොදා ගන්නා වෙඩි බෙහෙත් ආදී උපකරණ රැසක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඇල්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන අසෝක මෙන්ඩිස්, සනත් මෙන්ඩිස් යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැටලීම සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය. බළපිටිය - ජයකාන්ත ලියනගේ
 

More News..