brand logo

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12දෙනා ඇප මත මුදාහැරේ

14 January 2020

පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහරිින ලෙස අද (14) නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කර නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් තරයේ අවවාද කළාය. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 2 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස තරයේ අවවාද කළාය. ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසත් එසේ බලපෑම් සිදු කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගුකර නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවද මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී සැකකාර සිසුන්ට තරයේ අවවාද කරන ලදී. එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවොත් ඇප ලබා ගැනීමට සිදුවන්නේ අභියාචනාධිකරණයෙන් බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකාර සිසුන්ට පෙන්වා දුන්නාය. එසේ වුවහොත් සරසවි අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩ පවතින බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් සිසුන්ට අනතුරු අඟවා සිටින ලදී. නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම සිද්ධිය හේතුවෙන් පහරදීමට ලක්ව තුවාල ලැබූ සිසුවාට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ සිසුවාට සුළු තුවාල සිදුව තිබෙන බව එම වෛද්‍ය වාර්තා තුළින් අධිකරණයට කරුණු දක්වා තිබුණි. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හෙයින් තම සේවාදායකයින් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් දැඩි කොන්දේසි සහිත ඇපමත මුදාහැරීමට නියෝග කළ අතර වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 24 වන කැඳවන ලෙසද නියෝග කළාය. මෙම සිද්ධියට අදාළ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පෙරේදා(13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර එහිදී සාක්ෂිකරුවන් විසින් මෙම සැකකාර සිසුන් 12 දෙනා හඳුනාගෙන තිබුණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..