brand logo

යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සහ දීමනා හෙට සිට ඉහළට

30 June 2019

2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ නැංවීම හෙට (01) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ , ලක්ෂ 11 ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500 ක අන්තර් කාලීන දීමනාව මේ යටතේ හිමිවන බවයි. ඊට අමතරව ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරිම සහ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවීම ද හෙට සිට ක්‍රියාත්මක වේ. මේ සදහා රජය වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 40,000කි. මෙම අන්තර් දීමනාව ක්‍රියාත්මක වුවද මෙතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් රුපියල් 7,800 ජීවන වියදම් දීමනාව එලෙසම තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ අතර 2019 අයවැය යෝජනාවලට අනුව විශ්‍රාමිකයින් වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාව ද හෙට සිට ක්‍රියාත්මක වේ. 2015 දෙසැම්බර් 31 ට පෙර විශ්‍රාම ගිය ලක්ෂ 05 ක් පමණ වන සියලු විශ්‍රාමිකයින්ට මේ යටතේ රුපියල් 2800 අවමයක සිට රුපියල් 20,000 දක්වා උපරිමය දක්වා විශ්‍රාම වැටුප් ඉහළ නංවා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ය. ඒ සඳහා රජය රුපියල් මිලියන 12,000 ක් වෙන් කර ඇති අතර , විශ්‍රාමිකයන් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3525 ජීවන වියදම් දීමනාව එලෙසම ක්‍රියාත්මකයි. හෙට සිට ක්‍රියාත්මක වන පිරිදි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ මාසික දීමනාව රුපියල් 2000 සිට 5000 දක්වා ඉහළ නංවා තිබේ. මෙතෙක් එම දීමනාවට හිමිකම් ලබා සිටි පුද්ගලයින් 32,000 ට අමතරව , දීමනාව ලබා ගැනීමේ අරමුණින් පොරොත්තු ලේඛණයේ සිටි පුද්ගලයින් 40,000 ක් ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් 72,000 ඊට අයත් වේ. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4350කි. නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව මාසික දීමනාවක් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටි 5000 පිරිසකට රුපියල් 5000 ක දීමනාව ලබා දීම ද හෙට සිට ක්‍රියාත්මක වේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන්ට අමතරව තවත් පුද්ගලයින් 21,000 ක පමණ වන පිරිසකට මේ වන විටත් රජය රුපියල් 5000 මාසික දීමනාව ලබා දෙන බවයි. ඒ කටයුතු සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1840 කි. හෙට සිට ක්‍රියාත්මක කෙරෙන මේ සියලු වැටුප් සහ දීමනා වෙනුවෙන් රජය රුපියල් මිලියන 39,365 ක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
 

More News..