brand logo

යොහානි 'මැණිකේ' හින්දියෙන් ගායනා කරයි

20 October 2021

'මැණිකේ මගේ හිතේ' හින්දි වර්ෂන් එකකින් එළියට

'මැණිකේ මගේ හිතේ' ගීතය සමග ගෝලීය සංගීත දර්ශක වෙත ඉතා වේගයෙන් ගමන් කළ යොහානි ද සිල්වා, 'තෑන්ක් ගෝඩ්' නම් නවතම හින්දි චිත්‍රපටයකට සිය 'මැණිකේ' ගීතයේ හින්දි පිටපතක් ගායනා කරන බව ඉන්දීය ජනමාධ්‍ය මගින් ඊයේ (19වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. ඉන්ද්‍ර කුමාර් නමැති ඉන්දීය අධ්‍යක්ෂවරයාගේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිං රංගනයෙන් දායක වෙති. යොහානි මෙම චිත්‍රපටයට ගයනුයේ 'තනිකි බග්චි' විසින් සංගීත සංයෝජනය කරන ලද 'මැණිකේ මගේ හිතේ' ගීතයේ හින්දි පිටපතකි. මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ 'රශ්මි විරාග්' විසිනි.

'මැණිකේ මගේ හිතේ' ජනප්‍රිය ගීතය සමග විශේෂයෙන් ඉන්දීය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල පරිශීලකයන් අතර ජනප්‍රිය තරුවක් බවට පත් වූ ගායිකා යොහානි සල්මන් ඛාන්ගේ 'බිග් බොස් 15' වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව තෑන්ක් ගෝඩ් චිත්‍රපටය සඳහා හින්දි ගීතයක් ගායනා කිරීමට ඇයට ආරාධනා ලැබී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ භූෂාන් කුමාර්, ඉන්ද්‍ර කුමාර් සහ අශෝක් තකේරියා යන අයයි.

යොහානි මෙම ගීතය ගායනා කරන බව සනාථ කරමින් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් පවසා ඇත්තේ යොහානිගේ ගීතය සුපිරි තලයට පැමිණ ඇති අතර, මෙම 'බ්ලොක්බස්ටර් ගීතය' ලබා දීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වන බවයි. ගීතයේ මෙම හින්දි සංස්කරණය සඳහා සියලු දෙනාම මහත් උනන්දුවෙන් පසුවන අතර ඉක්මනින් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ. යොහානි පසුගිය මාසයේ දී 'සිද්දත්’ චිත්‍රපටයේ තේමා ගීතය ගායනයට එක්වෙමින් බොලිවුඩ් සිනමාවට ද පිවිසියාය. නයන තරංග ගමගේ https://youtu.be/PgCliOxl41o   https://youtu.be/4K6RlzLXAtk
 

More News..