brand logo

යෞවනයෝ කොරෝනාට ගොදුරු වෙන්න සූදානම්

22 July 2020

සිය කැමැත්තෙන්ම කොරෝනා වයිරසයට ගොදුරු වීමට සැරසෙන තරුණ තරුණියන් පිරිසක් ගැන මේ දිනවල අසන්නට ලැබේ. ඔවුන් මෙසේ කිරීමට සූදානම් වන්නේ ලෝකවාසීන්ගේ යහපත පිණිසය. ඒ පිළිබඳ පසුබිම් කතාව මෙසේය: කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා මේ වනවිට ලෝකයේ විවිධ රටවල විශාල තරගයක් ඇති වී තිබේ. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීමට ගතවන කාලයට වඩා ඉතා අඩු කාලයකින් මෙම කොරෝනා එන්නත නිපදවීම සඳහා බොහෝ පාර්ශ්ව කටයුතු කරමින් සිටිති. කොරෝනා වයිරසයේ බිහිසුණු බව නිසාත්, එහි වේගවත් ව්‍යාප්තිය නිසාත් මේ ආකාරයෙන් හැකි ඉක්මනින් එන්නතක් නිපදවීමේ අවශ්‍යතාව මතුව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වෙද්දී ලොව පුරා මෙවැනි එන්නත් 23ක් මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලෙමින් ඇති අතර ඒවා එම අත්හදාබැලීම්වල අවසන් අදියරයන් වෙත සේන්දු වී තිබේ. නමුත් මෙම අත්හදාබැලීම් සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව විශේෂඥයින්ගේ අදහසයි. ඒ වනවිට තවත් බොහෝ දෙනෙකු කොරෝනා වයිරස ආසාදිතයින් බවට පත්ව තිබෙනු ඇති අතර බොහෝ දෙනෙකු මෙලොව හැරගොස් සිටිනුද ඇත. මෙම පසුබිම තුළ මෙම අත්හදා බැලීම් තවත් වේගවත් කිරීම සඳහා ලොව ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් පිරිසක් අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එන්නතක් සාර්ථකද නැද්ද යන්න ප්‍රමාදයකින් තොරව, ඉතා ඉක්මනින් තීරණය කිරීමට මෙම ක්‍රමය හරහා හැකි වනු ඇති බව ඔවුහු පවසති. යම් ස්වේච්ඡා සාමාජිකයින් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට අදාළ එන්නත ලබාදී ඔවුන් වුවමනාවෙන්ම කොරෝනා වයිරසයට නිරාවරණය කළ යුතු බව මෙම විද්‍යාඥයින්ගේ යෝජනාවයි. වයිරසයට එරෙහිව සටන් කිරීමේදී එම එන්නත් කෙතරම් දුරට සාර්ථකද යන්න මේ හරහා ඉක්මනින් දැන ගැනීමට හැකි වනු ඇති බව මෙම විද්‍යාඥයෝ පෙන්වා දෙති. නොබෙල් සම්මාන දිනූ විද්‍යාඥයින් පවා මේ අතර සිටින බැව් මාධ්‍ය සඳහන් කර තිබිණි. මෙම විද්‍යාඥයින් ඉහත යෝජනාව ඇතුළත් විවෘත ලිපියක් ඉදිරිපත් කර ඇති බවත්, ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් 100 දෙනෙකු පමණ ඊට අත්සන් තබා ඇති බවත් සඳහන් වේ. නොබෙල් සම්මානලාභීහු 15 දෙනෙක් පමණ ඊට අයත් වෙති. වසංගතවේදය, වෛද්‍ය විද්‍යාව, ආර්ථික විද්‍යාව, දර්ශනය වැනි ක්‍ෂේත්‍රවල කීර්තිමත් විශේෂඥයින් මේ අතර සිටින බව පැවසේ. ඔවුන් යෝජනා කරන මෙම ක්‍රමය එන්නත් අත්හදා බැලීමේ සාමාන්‍ය ක්‍රමයට වඩා තරමක් වෙනස්ය. සාමාන්‍ය අත්හදාබැලීම්වල අවසන් අදියරේදී බොහෝ විට කෙරෙන්නේ ස්වේච්ඡා සාමාජිකයින් දහස් ගණනකට එන්නත ලබා දී ඉන්පසු සාමාන්‍ය ආකාරයෙන් සමාජයේ හැසිරෙන්නට සැලැස්වීමයි. මෙහිදී සිදුවන්නේ මෙම සාමාජිකයින් වයිරසයට ‘ස්වාභාවිකවම’ නිරාවරණය වන තුරු බලා සිටීමයි. ඔවුන්ට වයිරසය ආසාදනය වීම හෝ නොවීම මත එන්නතේ සාර්ථක අසාර්ථකභාවය ගැන තක්සේරු කෙරෙනු ඇත. මෙම ක්‍රමය අනුව එන්නතෙහි සාර්ථක අසාර්ථක බව පිළිබඳ තක්සේරුවක් ඇති කර ගැනීමට වැඩි කාලයක් ගත වන බැව් සඳහන් වේ. එන්නත ලබා දෙන ස්වේච්ඡා සාමාජිකයින් ‘ස්වාභාවිකව’ වයිරසයට නිරාවරණය වනතුරු බලා නොසිට ඔවුන් වුවමනාවෙන්ම වයිරසයට නිරාවරණය කළ යුතු බවට යෝජනා වන්නේ මෙම ප්‍රමාදය වලක්වා ගැනීමේ අරමුණෙනි. මෙය එක්තරා දුරකට අනතුරුදායක කටයුත්තක් බවද අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා මේ ආකාරයෙන් ස්වේච්ඡා සාමාජිකයින් වුවමනාවෙන්ම වයිරසයට නිරාවරණය කිරීම සදාචාරාත්මකද වැනි ගැටලුද මතු වෙමින් තිබේ. මෙම වයිරසය නිසා ඇතිවන කොවඩ්-19 රෝගයට තවමත් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති නිසා ඉහත කී ස්වේච්ඡා සාමාජිකයින් රෝගී වී මිය යාමට වුවද ඉඩ ඇති බැවිනි. නමුත් මෙම යෝජනාව ඉදිරිපත් කරන විශේෂඥයින් පවසන්නේ මෙහි දී ඉතා තරුණ වයසේ සිටින සහ වෙනත් නිධන්ගත රෝග නොමැති, නිරෝගී ස්වේච්ඡා සාමාජිකයින් මෙම අත්හදා බැලීම් සඳහා යොදාගත යුතු බවයි. කොරෝනා වයිරසය නිසා බරපතළ ලෙස රෝගී වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, පෙණහලු ආබාධ ආදිය තිබෙන පුද්ගලයින් බව මේ වනවිට සොයාගෙන තිබේ. එයට අමතරව වියපත් පුද්ගලයින්ටද මෙම වයිරසයෙන් වැඩි අනතුරක් තිබේ. මෙම පසුබිම තුළ නිරෝගී සහ තරුණ (වයස අවුරුදු 20 ගණන්වල පසුවන) ස්වේච්ඡා සාමාජිකයින් අත්හදා බැලීම් සඳහා යොදා ගැනීමෙන් බරපතළ ගැටලුවක් ඇති නොවනු ඇති බවට ඉහත කී විශේෂඥයෝ තර්ක කරති. තරුණයෙකු, තරුණියක මෙවැනි අත්හදාබැලීමක දී මිය යාමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව මෙම පාර්ශ්ව පෙන්වා දෙන අතර වකුගඩු බද්ධ කිරීමක්, දරු ප්‍රසූතියක් වැනි අවස්ථාවක මිය යාමට ඇති ඉඩ ඊට වඩා වැඩි බව ඔවුහු සඳහන් කරති. එන්නතක් සමාජයට හඳුන්වා දීම ඉක්මන් වන තරමට ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමේ හැකියාවක් ඇති බවද අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා එන්නතක් ඉක්මන් කරවන මෙවැනි අත්හදාබැලීමක් කිරීමෙන් සමාජයට අත්වන ප්‍රතිලාභ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවද ඔවුන්ගේ අදහසයි. කෙසේ හෝ වේවා, ජීවිත අවදානම පවා භාර ගනිමින් මෙවැනි අනතුරුදායක අත්හදාබැලීමකට ඉදිරිපත් වීමට මේ වනවිටත් බොහෝ දෙනෙකු කැමැත්ත පළ කර ඇති බවද සඳහන් වේ. රටවල් 140ක තරුණ තරුණියන් 30,000 ක පමණ පිරිසක් ඒ ආකාරයෙන් මෙම අත්හදාබැලීම් සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව 1 Day Sooner නැමැති සංවිධානය පවසා තිබේ. විද්‍යාඥයින් විසින් අත්සන් තබන ලද යෝජනාවට මෙම තරුණයින් අතරින් 2,000ක පිරිසක්ද අත්සන් තබා ඇත. එන්නතක් අත්හදාබැලීමේදී ඒ සඳහා ඉදිරිපත් වන ස්වේච්ඡා සාමාජිකයින් වුවමනාවෙන්ම අදාළ වයිරසයට හෝ බැක්ටීරියාවට නිරාවරණය කෙරෙන පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර කොලරාව, මැලේරියාව, උණසන්නිපාතය, ඩෙංගු වැනි රෝග සඳහා එන්නත් අත්හදා බලද්දීද මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කර තිබිණි. නමුත් එම අවස්ථාවල යම් ස්වේච්ඡා සාමාජිකයෙකු රෝගී වුවහොත් එවැනි අය සුවපත් කරගැනීම සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබිණි. නමුත් කොවිඩ්-19 සඳහා තවමත් එවැනි සාර්ථක ප්‍රතිකාරයක් නොමැති වීම ගැටලුවක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙවැනි අනතුරුදායක අත්හදාබැලීමක් සඳහා ඉදිරිපත් වන සාමාජිකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගත යුතුව ඇති බව ඉහත විශේෂඥයින්ද අවධාරණය කර තිබේ.
 

More News..