brand logo

යුරෝපීය වේදිකාවේ බුදු ගුණ වයන සිංහල කොල්ලා

02 October 2020

ලාංකේය රෙගේ සංගීතය නව මානයකට රැගෙන යමින් යුරෝපීය වේදිකාවේ සිංහල භාෂාව සහ හෙළ සංස්කෘතිය බබළවන්නට මහත් වෙහෙසෙක් දරන ගායකයෙක් අපිට මුණ ගැසුණා. සුන්දර දකුණු ලක මුහුදුකරයේ ඉපිද මුහුදු හතකින් එහා ඇති ස්වීඩනයේ ජාත්‍යන්තර වේදිකාව සංයමයෙන් ස්පර්ශ කරමින් බුදු ගුණ සහ ලාංකේය සංස්කෘතිය ගැන විදේශිකයන්ට කියාදෙන චුල්ලභක්තික අද ‘හැඩවැඩ’සමගින් සංවාදයට එක්වූයේ මෙසේය. චුල්ල භක්තික කියන්නේ කවුද? බොහොම සුන්දර වෙරළක් තියෙන බේරුවල මොරගොල්ල කියන ගමේ ඉපදුන සරල සිංහල බෞද්ධයෙක්. ඒ වගේම තමන්ගේම කියලා ගීත, තනු නිර්මාණය කරන රෙගේ සංගීතඥයෙක්. සංගීත භාණ්ඩ නිර්මාණය කරන්නෙක්, කලාකරුවෙක්, දැව නිර්මාණකරුවෙක් සහ යෝගා ගුරුවරයෙක් කියලා කිව්වත් වරදක් නැහැ. භක්තික ස්වීඩනයට එන්නේ කොහොමද? මට ලංකාවේ ඉද්දි ‘අප් රයිස්’ කියලා සංගීත කණ්ඩායමක් තිබුණා. ඒකේ මං වැඩ කරන අතරතුරේදී ස්වීඩන් ජාතික තරුණියක් සමගින් ඇතිවුණු ආදර සම්බන්ධයක් නිසා තමයි මම ස්වීඩනයට එන්නේ. රෙගේ සංගීතය හා සම්බන්ධ වෙද්දී මත්ද්‍රව්‍ය කියන දේ සෘජුවම සම්බන්ධ වෙනවා කියලා සමාජයේ කතාබහක් තියනවා. ඒක ඇත්තටම එහෙමද? මෙහෙමයි. සංගීතයයි, මත්ද්‍රව්‍යයි කියන්නේ දෙකක්. ඒක මානසික තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉස්සර කාලේ මමත් හිතාගෙන හිටියේ මත්ද්‍රව්‍ය පානය කළොත් තමයි රෙගේ ගායනා කරන්න පුළුවන් කියලා. ඒත් එය මිථ්‍යාවක්. හැමදේම තියෙන්නේ හිතේ. මම 2017දී සියලුම මත්ද්‍රව්‍ය අත්හැරියා. මම එදා ඉඳලා භාවනාව ප්‍රගුණ කරන්න පටන් ගත්තා. එතැනින් එහාට මම හෙව්වේ ආධ්‍යාත්මික සුවය. අද වෙනකොට යුරෝපීය රෙගේ සංගීත වේදිකාවේ මතින් තොර එකම ගායකයා මම වෙන්න ඇති. මට ඕන වුණා මේ හැමදේම මත්ද්‍රව්‍ය නැතුව ඉතා ඉහළ මට්ටමෙන් කරන්න පුළුවන් කියලා පෙන්නන්න. මත්ද්‍රව්‍යවලට තිත තිබ්බම ඔබට ලැබුණු වටිනාම දේ මොකක්ද? මට ලැබුණු ලොකුම තෑග්ග මගේ අම්මගේ ආදරේ. ඉස්සර අපේ අම්මා මං නිසා ගොඩක දුක් විඳපු කෙනෙක්. ඉස්සර මං ගෙදරින් කෑම වේලක්වත් කන්නේ නෑ. ඒත් අද මම ලංකාවට ගියාම වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ අම්මා. අද මම තුන්වේලම ගෙදරින් බත් කනවා. ඒ තමා මගේ ජිවිතේ ලොකුම තෑග්ග. රෙගේ සංගීතය ලංකාවේ සංස්කෘතියට ඔබ ආරූඪ කරගන්නේ කොහොමද? රෙගේ කියන්නේ රස්ටෆාරී සංස්කෘතියේ ඔවුන්ගේ දුක් ගැනවිල්ල කියන්න හැදුණු ගායන ශෛලියක්. එයාලගේ කොණ්ඩේ ඩ්රෙඩ්. හැබැයි අපි එහෙම වෙන්න ඕනේ නෑ. අපේ තියෙන්නේ කළු සිංහල කැරලි කොණ්ඩේ. අපි අපේ දේ ඉස්සරහට අරගෙන යන්න ඕන එය අපිට අරුඪ කරගෙන. අනිවාර්යයෙන්ම රෙගේ සංගීතයේ ලාංකේය සංස්කෘතිය ඉදිරියට ගෙනියන එක තමා මගේ බලාපොරොත්තුව. මොකද ලෝකේ තියෙන සුන්දරම සංස්කෘතිය තියෙන්නේ අපිට. ඒ ස්වාභාවිකත්වය ඇතුළේ තියෙන රසයට විදේශිකයෝ ආදරෙයි. ඔබේ දක්ෂතා පෙන්වා ඇති විදෙස් ප්‍රසංග වේදිකා ගැන මතක් කළොත්? මම ඉන්නේ ස්ටොක්හෝම්වල. මට මෙහෙ සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒ ස්වීඩන් ජාතිකයන් සහ අප්‍රිකානුවන් එකතු වුණු කණ්ඩායමක්. මෙහෙ සීත කාලෙට නැත්නම් ග්‍රීස්ම කාලෙට තියනවා ගායන සැණකෙළියක්. සාමාන්‍යයෙන් දවස් 3,4ක් පුරා මේ සැණකෙළිය පැවැත්වෙනවා. එයට ලොව පුරා ගායකයන් රැසක් සහභාගි වෙනවා. ඒ අතර කෙනෙක් තමා මම. සාමාන්‍යයෙන් යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් වැඩිය මාව හඳුනාගන්නේ නෑ. නමුත් විදේශිකයන් මාව හොයනවා ‘ඇරලන් රූට්ස්’ වගේ ප්‍රසංගවලට. මට මෙහෙ ප්‍රධාන නාළිකාවක් වන එස්.වී.ඒ. ටීවී එකෙන් ලංකාවේ සංස්කෘතික ගායකයෙක් විදිහට මාව හඳුන්වලා මාව වැඩසටහන්වලට අරන් තියනවා. ඔබ කොහොමද ලාංකේය අනන්‍යතාව විදෙස් වේදිකාවට රැගෙන යන්නේ? හොඳම උදාහරණය මම සිංහල භාෂාවෙන් ගොඩක් ගීත ගායනා කරනවා. විදේශිකයන් බොහොමයක් අපේ භාෂාවට කැමතියි. ඉතින් මම මගේ ඉදිරිපත් කිරීම් කරන්න කලින් ගොඩක් වෙලාවට වේදිකාවේ ඉඳන් බුදු ගුණ ගයනවා. මෙහෙ අය කියන්නේ ඒවාට මන්ත්‍ර කියලා. මම ගොඩක් වෙලාවට ‘ජයෝ මුනින්දස්ස සුබෝධිමුලේ’ කියලා ගාථාව කියද්දීම ඒ අය සංයමයෙන් ඒක අහගෙන ඉද්දි මගේ අත්දෙකම වැඳගෙන ඒ දෙය ඔවුන්ට ලබා දෙනවා. ඒ වෙලාවට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. එතරම්ම බුදු ගුණවලට විදේශිකයෝ ප්‍රිය කරනවා. මම හැම වෙලේම ආගම සහ භාෂාව එක්ක ඉපදෙන සංස්කෘතිය මගේ ස්වරූපය කරගන්න මහන්සි වෙනවා. වැඩිම ප්‍රේක්ෂකයෝ කැැමති වුණ ඔබේ ඇල්බමයක් ගැන කිව්වොත්? ‘සිංහයෝ අපි’ තමා ගොඩක්ම එළියට ආවේ. මේ ගීත ඇල්බමයේ තියන ගීතවල කොටස් විදේශිකයෝ කියනවා, මුමුණනවා මට ඇහෙද්දී පුදුම සතුටක් දැනෙන්නේ. ඒ කියන්නේ මුමුණන්නේ සිංහල. සංගීතවේදියෙක් විදිහට නවක ගායකයන්ට දෙන්න පුළුවන් උපදෙස? මට දෙන්න පුළුවන් උපරිම දේ කවදාවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න එපා. අපි අපායටද යන්නේ, නිවනටද යන්නේ කියලා ඔයාලට පුළුවන් තේරුම් ගන්න. මනුස්ස ආත්මයක් ලබන්න අපි කරපු කුසලයෙන් එහාටයි යන්න ඕනේ. අපි හැමවෙලේම ‘දෙවියෝ වෙන්න කැමැතියි, හැබැයි අපි දෙවියෝ කරන වැඩ කරන්න කැමැති නෑ. අපි බල්ලෙක් වෙන්න කැමැති නෑ, හැබැයි අපි බල්ලෝ කරන වැඩ කරනවා’ මම කියන්නේ අපේ ආධ්‍යාත්මය හැමවෙලේම සුවපත් කරන දෙයක් තමයි සංගීතය කියන්නේ. එයට මත්ද්‍රව්‍ය පටලවාගත්තොත් සත්‍ය ආධ්‍යාත්මික සුවය අපෙන් ඈත් වෙයි. ලාංකේය සංගීතය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන යන්න නම් මොන වගේ වෙනසක් ද අපි කරන්න ඕනේ? අපේ මෑතකාලීන සංගීතයේ ලෝකෙම දන්න ගායකයෝ සහ නිර්මාණ නැති තරම්. ඒකට මම හිතන්නේ ප්‍රධානතම හේතුව කොපි කිරීම හෝ වෙනත් අයගේ නිර්මාණ වැඩිදියුණු කිරීම. නන්දා මාලිනියන්, පණ්ඩිත් අමරදේව වැනි ගාන්ධර්වයන්ගේ නිර්මාණ තමයි තාමත් අපිට තියෙන්නේ. ගොඩක්ම යුරෝපීය වේදිකාව පටලවාගෙන ඉන්නේ. අපේ අය පිටරට ගිහින් ගායනා කරන්නෙත් විදෙස්ගත ලාංකිකයන්ට. ලංකාවේ සහ යුරෝපීය වාදකයෙකු සංගීත භාණ්ඩ වාදනයේදී තාම අපිට වෙනසක් දැනෙනවා. මම කියන්නේ නිර්මාණය නව තාක්ෂණය සහ දැනුම එක්ක ලෝක මට්ටමේ ඉල්ලුම හොයා ගන්න ඕනේ. මම හිතනවා අන්න එදාට ලංකාවේ නිර්මාණවලට විදෙස් වේදිකාවල ඉල්ලුමක් තියෙයි. අපිට තියෙනවා හොඳ සංස්කෘතියක්, හොඳ භාෂාවක් ඒ දේවල්වලට විදේශිකයා කැමැයි. ඒ නිර්මාණය අපි අරගෙන යන්න ඕනෙම එතැනට. මම හිතන්නේ ඒක තමා අත්‍යවශ්‍යම වෙන්නේ.   චතුර රණසිංහ
 

More News..