brand logo

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය ප්‍රථම “Long Distance Walking Trail” ව්‍යාපෘතිය එළි දක්වයි

17 February 2022

  ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති අතිගරු ඩෙනිස් චයිබි මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් දිවයිනේ ප්‍රථම “Long Distance Walking Trail” ව්‍යාපෘතියේ මුල් අදියරය සංඥා පුවරු නිරාවරණය කරමින් දියත් කරන ලදී. දිවයිනේ ගමනාන්ත රැසක් තරණය වන පරිදි සැලසුම් කර ඇති කිලෝ මීටර 300කට අධික දිගකින් යුත් කඳුකර ප්‍රදේශ හරහා ගමන් කළ හැකි පාගමන් මංපෙත් රැසක එකතුවක් ලෙස හෙරිටේජ් ට්‍රේල්ස් ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. මෙම අන්තර්සම්බන්ධිත පාගමන් මංපෙත් ජාලය බහු දින අත්දැකීමක කොටසක් ලෙස හෝ විවිධ භූමි ප්‍රදේශ, ඉතිහාස සංසිද්ධීන්, සංස්කෘතීන්, සම්ප්‍රදායික ආහාර රටා සහ දේශීය ප්‍රජාවන් හඳුනාගැනීමට ඉඩ සලසා දෙන පාගමන් මංපෙත් ව්‍යාපෘති මාලාවක පළමුවැන්න වනු ඇත. ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායට සහය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙම හෙරිටේජ් ට්‍රේල්ස් ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ යුරෝ මිලියන 5.7ක (රුපියල් බිලියන 1.3) ආයෝජනයක් වන අතර තිරසාර පාරිසරික සංවර්ධනය ආදිය ද මෙම ව්‍යාපෘතිය තුළට ඇතුළත් වේ. තව ද අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජ්‍යායතනය මෙම ව්‍යාපෘතියේ ආරම්භය සඳහා තවත් ඩොලර් 787,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක්) දායකත්වයක් ලබා දී ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ IESC විසිනි.

මෙම ව්‍යාපෘතියට අදාළ මංපෙත්හි සංචාරයේ නියැළෙන අතරතුර යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චයිබි මහතා මෙසේ ප්‍රකාශ කළේය. “උද්‍යෝගයෙන් බයිසිකල් පැදීමෙහි නිරත වන පුද්ගලයෙකු ලෙස මම රට පුරා සංචාරය කර තිබෙනවා. එහිදී මම පුදුම වුණා මේ රටේ සංචාරක විභවයන් පිළිබඳව. ශ්‍රී ලංකාව 2019 වර්ෂයේ සිට විවිධ අර්බුදවලින් පීඩා විඳිම හේතුවෙන් සංචාරක කර්මාන්තය සහ එයින් යැපෙන පිරිස් ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා. යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජය සමග ඉතා සමීපව කටයුතු කිරීමට කැප වී සිටිනවා. කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු ඇති වී තිබෙන සංචාරක ප්‍රවණතාවන් සමග ඇති වූ විශේෂිත අත්දැකීම්වල වර්ධනය පිළිබඳව ගවේෂණය කිරීමට මෙම ව්‍යාපෘතිය අපට ඉඩ සලසා දෙනවා. ඒ වගේම අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජ්‍යායතනය මෙම කර්තව්‍යයේදී අප සමග අත්වැල් බැඳගෙන සිටීම පිළිබඳව අප සතුටට පත්වෙනවා.”

මේ අතර සමස්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ, “අපේ ආර්ථිකයේ සක්‍රීයම අංශයක් වූ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සහ සංචාරක කර්මාන්තයේ සෘජු සහ වක්‍ර ආකාරයෙන් නියැළෙන පුද්ගලයන්ගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් උපකාර කිරීම ගැන යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය දක්වන සහයෝගය අපි අගය කරනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් යුරෝපා සංගමයේ සංචාරකයන් වීම සහ 2021 ඔක්තෝබර් මාසයේ සිට යුරෝපා සංගමයෙන් පැමිණෙන සංචාරකයන්ගේ අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබීම ගැනත් අපි සතුටු වෙනවා.” යනුවෙනි.

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජ්‍යායතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් මහතා ප්‍රකාශ කළේ, වසර 60කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජ්‍යායතනය ආයෝජනය කළ බවත් ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයන් පිළිබඳව අවධානය යොමු කිරීමටත්, සංචාරක කර්මාන්තයේ දිගුකාලීන හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය සමග එක්වන්නට ලැබීමත් සතුටට කරුණක් බවයි. මෙම ව්‍යාපෘතිය සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා උත්පාදනය සඳහා උපකාරී වේ. කුඩා පරිමාණ ව්‍යවසායන්හි ස්ථිරසාර බව සහ කුඩා පරිමාණ ව්‍යවසායන් ස්ථාපනය කිරීමට, සහය වීමට ප්‍රතිපාදන සැපයීමේ වැඩසටහනක් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. එලෙසම සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පුද්ගලයන්, හිමිකරුවන් සහ කළමනාකරුවන් සඳහා පුහුණු වැඩමුළු ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. යුරෝපා සංගමය සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජ්‍යායතනය ආර්ථික සහ මානුෂීය වශයෙන් දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවට සහයෝගය දක්වා ඇත. හෙරිටේජ් ට්‍රේල්ස් (Heritage Trails) ව්‍යාපෘතිය සඳහා මුලපිරීම මෙම දිගුකාලීන හවුල්කාරීත්වයේම එක් කොටසකි.
 

More News..