brand logo

යුද්ධ කරන්න සූදානම් වන්න-චීන ජනපති කියයි

30 May 2020

චීනයේ අයවැයෙන් ආරක්‍ෂක කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඇමරිකානු ඩොලර් බිලියන 178කින් වැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. එය පසුගිය වසරේ වෙන් කළ මුදලට වඩා සියයට 6.6ක පමණ වැඩි වීමක් බැව් සඳහන් වේ. චීනයේ ආරක්‍ෂාවට යම් තර්ජනයක් එල්ල වෙමින් ඇති බවට වන අදහස මේ ආකාරයෙන් ආරක්‍ෂක අංශ ශක්තිමත් කිරීමට හේතු වන්නට ඇතැයි ඇතැම් නිරීක්‍ෂකයින් පෙන්වා දී තිබිණි. මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර ගැටුම්කාරී තත්ත්වයන් තවදුරටත් උත්සන්න වෙමින් ඇති බවද රහසක් නොවේ. කොරෝනා වසංගතය කේන්‍ද්‍ර කර ගෙනද පසුගිය කාලයේ දෙරට අතර ආතතියක් වර්ධනය වනු දැකිය හැකි විය. එමෙන්ම දකුණු චීන මුහුදු කලාපය කේන්‍ද්‍ර කරගෙන මෙම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්ද ඉදිරියට යමින් තිබේ. උපාය මාර්ගික වශයෙන්ද ස්වාභාවික සම්පත් අතින්ද වැදගත් කලාපයක් වන මෙහි චීනය සිය ආධිපත්‍යය වර්ධනය කරගනිමින් සිටින බවට චෝදනා නැගෙන අතර ඇමරිකාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් එම තත්ත්වයට එරෙහිව කටයුතු කරමින් සිටියි. මෙම කලාපයෙහි ඇති දූපත් කිහිපයක චීන හමුදා කඳවුරු පවා පිහිටුවා ඇති බව රහසක් නොවේ. මීට අමතරව චීනයත්, තායිවානය සහ හොංකොං වැනි පාර්ශ්වත් අතර පවතින ආතතීන්ද ඉහළ යමින් තිබේ. තායිවානය චීනයට අයත් කලාපයක් ලෙස චීනය සලකන නමුත් තායිවානය එය පිළිගන්නට සූදානම් නැත. ඒ නිසා ඔවුන් තම ස්වාධීනත්වය තහවුරු කර ගනීම සඳහා දිගින් දිගටම කටයුතු කරමින් සිටියි. මේ අතර චීනයේ විශේෂ පරිපාලන කලාපයක් ලෙස පවතින හොංකොං කලාපය තුළද චීන විරෝධී කටයුතු ඉහළ යමින් තිබෙනු දැකිය හැකි වේ. මෙම චීන විරෝධයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග උල්පන්දම් දෙමින් සිටින බවට චීනය පැත්තෙන් චෝදනා එල්ල වෙයි. මෙකී තත්ත්වය හමුවේ මෙම කලාපය තුළ චීනයේ ආධිපත්‍යයට එල්ල වෙමින් ඇති බලපෑම් ඉහළ යමින් ඇති බව පෙනේ. චීනයේ ආරක්‍ෂක කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දමන අතර ජනාධිපති ෂී ජින් පිං යුද්ධ කිරීම සඳහා සූදානම් වීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද අවධාරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. දැන් වසංගත පාලන කටයුතු සාමාන්‍ය අතට හැරී ඇති නිසා යුද්ධ සඳහා සූදානම් වීමටත්, පුහුණු වීමටත් මාර්ග සොයා ගත යුතුව ඇතැයි ඔහු සඳහන් කර තිබේ. එමෙන්ම හමුදා මෙහෙයුම්වල යෙදීම සඳහා තම හමුදාවන්ට ඇති ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍යව ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත. ෂී ජින් පිං මෙසේ පවසා ඇත්තේ චීනයේ ජාතික මහජන කොංග්‍රසය හෙවත් පාර්ලිමේන්තුව අමතමිනි.   සහන් වික්‍රමගේ
 

More News..