brand logo

යාපනයට ගඟක් කැපූ හැටි

21 December 2018

යාපනයේ අර්ධද්වීපය වර්ග කිලෝමීටර 1000 පමණ තැනිතලා භූමියක්. මේ භූමිය ඇතුළෙ විශාල කලපු දෙකක් පිහිටා තිබෙනවා. ප්‍රධාන කලපුව වන වඩමාරච්චි කලපුව වර්ග කි. මී. 77 ක් විශාලයි. අනෙක් කලපුව වන උප්පාරු කලපුව වර්ග කි. මී. 26 ක් විශාලයි. මගේ පියාගේ සැලසුමේ මුල් අවධානය යොමු වෙලා තිබුණේ මේ කලපු දෙක මිරිදිය ජලාශ දෙකක් බවට පත් කරන්න. ඒ සඳහා ඔහු යෝජනා කළේ කලපු දෙක මුහුදට සම්බන්ධ වන මෝය කටවල් හරස් කරලා කරදිය ඇතුළට එන එක වළක්වල වැහි වතුරෙන් පිරෙන්න ඉඩ හැරීමයි. මොකද මුහුදු වතුර මේ කලපු හරහා අර්ධද්වීපය ඇතුළට ගලා ඒම තමයි භූගත ජලය ලුණු රහ වෙන්න ප්‍රධාන හේතුව. පියාගේ සැලසුමට අනුව වඩමාරච්චි කලපුවේ මෝය කට පිහිටි තොණ්ඩමනාරුවල අමුණක් ඉදිකිරීමටත්, උප්පාරු කලපුවේ මෝය කට පිහිටි අරියාලේ ප්‍රදේශයේ අමුණක් බැඳ හරස් කිරීමටත් යෝජනා කළා. නමුත් යාපනයට ලැබෙන වර්ෂාව මදි. ඒ නිසා වසර පුරා මේ කලපු ජලාශවල ජල මට්ටම පවත්වා ගන්නේ කොහොමද කියන එකත් ඔහු කල්පනා කෙරුවා. ගංගා හා ඇළදොළ වගේ වෙනත් ජල මූලාශ්‍රත් යාපනයට නැති නිසා වර්ෂා ජලය මූලික කරගෙන තමයි සැලසුම් කරන්න තිබුණු එකම විදිහ. ඒ ගැන කල්පනා කරද්දී ඔහුගේ අවධානයට ලක් වුණ යාපනයට පහළින් පිහිටි වන්නි ප්‍රදේශය. ඒක වර්ග කි.මී.940 ක් විශාල භූමි ප්‍රදේශයක්. වැස්ස කාලෙට සෑහෙන වර්ෂාපතනයක් ලැබෙනවා. හැබැයි ඒ ජලය ඉතාම ඉක්මනින් මුහුදට ගලාගෙන ගිහින් කරදියත් එක්ක මිශ්‍ර වෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගැනීමකින් තොරව. පියාගේ අවධානය යාපනයට පහළින් පිහිටි අලිමංකඩ කලපුව ගැනත් යොමුවෙලා තියෙනවා. වර්ග කි. මී. 77 ක් විශාල මේ අලිමංකඩ කලපුවට වන්නියේ ඉඳලා කනගරායන් ආරු කියන ගඟ සහ තවත් කුඩා ආරු ගණනාවක් සම්බන්ධ වෙනවා. වර්ෂා සමයේ දී මේ වර්ග කි. මී. 940 ක් භූමියට වැටෙන විශාල වතුර ප්‍රමාණයක් ප්‍රයෝජනයක් ගන්නෙ නැතිවම වන්නියෙන් ගලාගෙන ඇවිත් අලිමංකඩ කලපුවේ කරදිය බවට පත්වෙනවා. මේ වතුර යාපනයට ගෙන යන්න ක්‍රමයක් ගැන ඔහු හිත යොමු කෙරුවා.’’ තිරු ආරුමුගම් සිය පියාගේ මනසේ සැලසුම් සකස් වූ හැටි උතුරේ භූගෝලීය පිහිටීම දැක්වෙන කුඩා සිතුවමක් මත කාබන් පෑනකින් ලකුණු කරයි. කරදියෙන් පිරුණු අලිමංකඩ කලපුව මිරිදිය ජලාශයක් බවට පත් කිරීමට ෂන්මුගම් ආරුමුගම් මහතා නිර්මාණය කළ සැලසුම මෙසේ ය. ‘‘අලිමංකඩ කලපුවට ඉහළින් යාපනය අර්ධද්වීපය පිහිටා තිබෙනවා. පහළින් ලංකාවේ ප්‍රධාන භූමිය පිහිටා තිබෙනවා. මේ කලපුව මුහුද සමග එක්වෙන්නේ නැගෙනහිර පැත්තෙන් බෙංගාල බොක්ක පැත්තට. බටහිර පැත්තෙන් පෝක් සමුද්‍ර සන්ධිය පැත්තට. කලපුවේ මේ දෙපැත්ත මුහුදු වතුර කලපුවට ගලා නොඑන ආකාරයට හරස් කෙරුව නම් වන්නියේ අාරුවලින් ගලා එන වතුර එකතුවෙලා මිරිදිය ජලාශයක් බවට පත්වෙන බව පියා තේරුම් ගත්තා.’’ එහි ප්‍රතිඵලයක් ලෙස ෂන්මුගම් ආරුමුගම් ඉංජිනේරු මහතා කලපුවේ භූගෝලීය පිහිටීම නිරීක්ෂණය කර සැලසුමක් සකස් කෙළේය. ‘‘ඒ කටයුත්ත මහා වියදම් යන එකක් නෙමෙයි. පියාගේ සැලසුමට අනුව වේලි බැඳලා හරස් කරන්න අවශ්‍ය කුඩා දුරක් පමණයි. බටහිර පැත්තෙන්, ඒ කියන්නේ යාපනයට යන මහ පාර සහ දුම්රිය පාර පිහිටා තිබෙන තීරුවෙ අඩි 40 ක් වගේ පොඩි පාලමකින් තමයි මුහුදට එහෙමත් නැත්නම් යාපනය කලපුවට සම්බන්ධ වෙලා තියෙන්නේ. නැගෙනහිර පැත්තෙන් බෙංගාල බොක්කට සම්බන්ධ වෙන මෝය කට චුංඩිකුලම් කියන ස්ථානයෙන් මීටර් 2100 දුර බැම්මක් බඳින්න යෝජනා කළා. එහෙම කළාම අලිමංකඩ කලපුව සම්පූර්ණයෙන්ම මුහුදෙන් වෙන් වෙනවා. එතකොට වන්නියෙන් ගලා එන වැහි ජලය පිරිලා කලපුව මිරිදිය ජලාශයක් බවට පත්වෙනවා’’ යාපනයට ගඟක් නිර්මාණය කිරීමේ දෙවන අදියර ලෙස අලිමංකඩ කලපුව මිරිදිය ජලාශයක් වන්නේ එසේය. මෙලෙස අලිමංකඩ මිරිදිය කලපුවට එක්වෙන ජලය යාපනයට රැගෙන යන්නේ කෙසේද? එය යාපනයට ගඟක් ව්‍යාපෘතියේ තුන්වැනි අදියරයි. ‘‘අලිමංකඩ කලපුවේ රැස්වන ජලය ‘මුල්ලියන් වාරි ඇළ’ (Mulliyan Link Channel) නමින් මීටර් 12 ක් පළල කි. මී. 4 ක් දිග ඇළක් හරහා වඩමාරච්චි කලපුවට ගෙනයන්නයි පියා සැලසුම් කරලා තිබුණේ. ඊට පස්සේ වඩමාරච්චි කලපුව සහ උප්පාරු කලපුවට වාරි ඇළක් හරහා සම්බන්ධ කළාම ජලය උප්පාරු කළපුව දක්වාම ගමන් කරනවා.’’ තිරු නඩේසන් මහතා සිය පියාගේ සැලසුම යාපනයේ සිතියම මත ඇඳ අවසන්ය. පෑන් ඉරි වන්නියේ කනකරායන්කුලම් වැනි ජල මාර්ග, අලිමංකඩ කලපුව, මුල්ලියන්වාරි ඇළ හරහා වඩමාරච්චි කලපුවද එතැන් සිට තවත් වාරි ඇළ හරහා උප්පාරු කලපුව දක්වාද ගමන් කර තිබේ. දැන් එහි පෙන්නුම් කරන්නේ කුඩා අතු ගංගා හරහා මහා ජලාශ තුනක් සම්බන්ධ වූ මහා ගංගාවකි. සිතියම මත යාපනයට ගඟක් සැලසුම නිර්මාණය වී තිබුණද එය සැබෑ මහ පොළොවේ යථාර්ථයක් වේද? වසර 70 ක් පමණ පැරණි මේ සැලසුම උතුරු භූමියේ නිර්මාණය නොවුණේ මන්ද? එහෙත් එය එසේ නොවේ. යාපනය හිරිගල් භූමිය යම්තාක් දුරකට හෝ පිරිසිදු ජලයෙන් තෙත් කළ හැකි මෙම සැලසුම එහි බිහි වූදා සිටම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ප්‍රජාවේ මෙන්ම ආණ්ඩුවේ ද අවධානයට ලක් වී තිබේ. ‘‘මගේ පියා පසුව කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුවෙලා ගියා. ඔහු එතැන් පටන් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ගත්තා. වර්ෂ 1954 දී උප්පාරු කලපුවේ මෝය කට අරියාලෙ දී හරස් කරලා වේල්ලක් බැන්දා. ඊට පස්සේ 60 දශකය මුලදී වඩමාරච්චි කලපුවේ මෝය කට තොණ්ඩමානාරුවලදී හරස් කරලා වේල්ලක් බැන්දා. ඊට පස්සේ මේ කලපු දෙකේ වැහි වතුර රැ​​​​ඳෙන්න පටන් ගත්තා. ඒ වගේම ව්‍යාපෘතියේ අරමුණු ඉෂ්ටවෙන බව පේන්න පටන් ගත්තා. මොකද ඒ වෙනකොට යාපනයේ ළිංවල තිබුණු ලුණු ගතිය පහවෙලා පිරිසිදු වතුර උනන්න ගත්තා.’ වර්තමාන දෙමළ දේශපාලනඥයන් තම ප්‍රජාවට දකුණේ ආණ්ඩු නොසලකන බව පවසන නමුදු එය අසාධාරණ ප්‍රකාශයක් බව මෙයින් පෙනේ. දකුණේ ආණ්ඩු උතුරේ ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූ හොඳම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී ඇත. ‘ඒ වගේම ඒ කාලෙම අලිමංකඩ කලපුව බටහිර පැත්තෙන් මුහුදට සම්බන්ධ වෙලා තිබුණු යාපනය - කොළඹ මහා මාර්ගයේ පාලමයි දුම්රිය මාර්ගයේ පාලමයි යටින් හරස් කෙරුවා. ඒ වගේම අලිමංකඩ කලපුව - නැගෙනහිරින් මුහුදට සම්බන්ධ වෙලා තිබුණු මෝය කටත් වේල්ලක් බැඳලා වැහුවා. අලිමංකඩ කලපුවේ ඉඳලා වඩමාරච්චි කලපුව සැලසුම් කරපු මුල්ලියන් වාරි ඇළක් කපන්න පටන් ගත්ත. ඒකෙ වැඩ සියයට 80 ක් විතර ඉවර වෙද්දී අරමුදල් නැතුව නැවතුණා’’ කුඩා යාපනය සිතියමේ ‘‘මුල්ලියන් වාරි ඇළ’’ පිහිටා ඇති ස්ථානය මත පෑන තබාගෙන තිරු අරුමුගම් ඉංජිනේරු මහතා මා දෙස කනගාටුවෙන් බලා සිටියි. අලිමංකඩ කලපුව හරස් කළේ නම් එය වර්තමානය වනවිට මිරිදියෙන් පිරී තිබිය යුතුය. එහෙත් අප දන්නා පරිදි එය තවමත් පිරී තිබෙන්නේ කරදියෙනි. ‘‘ඇත්තටම අලිමංකඩ කලපුව අවුරුදු කීපයක් මිරිදියෙන් පිරිලා තිබුණා. ඒත් මහ ගංවතුරක් ඇවිත් නැගෙනහිර පැත්තේ මෝය හරස් කරලා තිබුණු දිග බැම්මේ තැන් කිහිපයක් සෝදා ගෙන ගියා. නැවත අලුත්වැඩියා නොකළ නිසා හානිය වැඩිවෙලා නැවත මුහුදු වතුර ඇවිත් පිරුණා. ඒ වගේම යාපනය අර්ධද්වීපය ඇතුළෙ කලපු දෙකේ මෝය කටවලුත් කැඩිලා ගිහින් නැවත අර්ධද්වීපය අැතුළට කරදිය ඇවිත් ළිංවලට ලුණු වතුර එකතු වෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ උදාවුණු යුගය ගැන අපි හැමෝම දන්නවනේ. මේ කිසි දෙයක් ගැන අවධානයක් යොමු වුණේ නෑ’’ සිය පියාගේ සැලසුමත්, සිහිනයත් බොඳවී ගිය අයුරු ඔහු කනගාටුවෙන් සිහිපත් කරයි. ෂන්මුගම් ආරුමුගම් ඉංජිනේරු මහතාගේ ‘යාපනයට ගඟක්’ සංකල්පය එලෙස අතරමග හිර විය. වර්ෂ 1965 ඒ මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත්තේ එහි අධ්‍යක්ෂවරයා ලෙසය. අනතුරුව ඔහු ජල සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවයට එක් වී වර්ෂ 1972 දී ඉන් විශ්‍රාම ගියේ ය. රාජකාරියට අමතරව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (එවකට Institution of Engineers Ceylon) හි සභාපතිවරයා ලෙසද සේවය කළේ ය. එමෙන්ම ඔහු ලංකාවේ වාරි කටයුතු, හින්දු දහම හා කෝවිල් සහ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් පිළිබඳව ලිපි හා කෘති ගණනාවක් ලියා පළ කළේ ය. එසේම තමන්ගේ විශ්‍රාම දිවිය සමයේ දී උතුර පමණක් නොව මුළු ලංකාවම ගිනිගත් මහා ගැටුම දැක බලාගත් මේ අපූරු මහා සැලසුම්කරු වර්ෂ 2000 මාර්තු 06 වැනිදා එක්සත් රාජධානියේ දී අවසන් ගමන් ගියේ තම සිහිනය අනාගතයේ යම් දිනකවත් සැබෑ වනු ඇතැයි සතුටු විය හැකි ඉඟියකින් තොරවය. ඒ මේ කතාවේ මුල් පරිච්ඡේදය ලෙස මම දකිමි. මා කියවූ කෘතියක ​(ලෙනින් සහ අපේ ජීවිත) තිබූ සිදුවීමක් මට මෙහිදී සිහිපත් වේ. සෝවියට් දේශය පිහිටුවා තිබූ ළදරු අවදියේ දී එවකට ලෝකයේ මහා විද්‍යා ප්‍රබන්ධකරුවා ලෙස සැලකුණු එච්. ජී. වෙල්ස් සිය පැරණි මිතුරකු වූ මක්සිම් ගෝර්කි හමුවීමට පැමිණියේ ය. මේ ගමනේ දී වෙල්ස්ට ගෝර්කිගේ උදව්වෙන් ක්‍රෙම්ලිනයට ගොස් ලෙනින් හමුවීමට ද අවස්ථාව ලැබුණේය. ඒ හමුවේදී ලෙනින් සෝවියට් දේශය සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව වේල්ස් සමග සාකච්ඡා කළේ ය. මහා විශාල සෝවියට් දේශය පුරා විදුලි බලය වසර කීපයක් වැනි සුළු කාලයකින් ලබා දීමට සැලසුම් කරන බවද ලෙනින් වේල්ස් සමග කීවේය. ඒ ඇසූ මහා විද්‍යා ප්‍රබන්ධකරුවා පුදුමයට පත් වූයේ ය. ඒ වන විට හිරු නොබසින අධිරාජ්‍යය පිහිටුවා තිබූ එංගලන්තයේත් බොහෝ ප්‍රදේශ විදුලි බලය නොමැතිව අඳුරේ පැවතුණි. එසේ නම් දැඩි ආර්ථික අපහසුතා තිබූ ළදරු සෝවියට් ආණ්ඩුව මුළු දේශයටම විදුලි බලය ලබා දීම කළ නොහැකි දෙයක් ලෙස වේල්ස් සැලකුවේය. ඔහු නැවත එංගලන්තයට ගොස් ‘‘ක්‍රෙම්ලිනයේ සිහින දකින්නා’’ නමින් ලිපියක් ලීවේය. ක්‍රෙම්ලිනයේ සිහින දකින්නා ලෙස ඔහු උපමා කර තිබුණේ ලෙනින්වය. සෝවියට් දේශය විද්‍යුතනය කිරීමේ ලෙනින්ගේ සැලැස්ම ඉටු නොවන සිහිනයක් ලෙස ඔහු සඳහන් කළේ ය. වෙල්ස් නැවත වරක් සෝවියට් දේශයට යන විට ලෙනින් මියගොස් තිබුණි. එහෙත් ඔහු ප්‍රකාශ කළ සෝවියට් දේශය විද්‍යුතනය කිරීමේ සැලැස්ම සම්පූර්ණ වී තිබුණි. එච්. ජී. වේල්ස් නම් මහා විද්‍යා ප්‍රබන්ධකරුවා තමන් පරාජයට පත් වූ බව පිළිගත්තේය. ඒ සෝවියට් දේශයේ ය. එහෙත් අපේ කතා නායකයා වන ෂන්මුගම් ආරුමුගම් ඉංජිනේරු මහතා මියගියේ තම සැලැස්මද මිය ගිය බව සිතමින් විය යුතුය. ඔහු මියගියද ඔහුගේ සැලැස්ම පිළිබඳ සංවාදයක් ඉතා සීමිත පිරිසක් අතරේ සිදුවෙමින් තිබුණි. එහි එක් චරිතයක් වන්නේ ඔහුගේ පුත් තිරුය. තිරු සිඩ්නි නුවර සිට සිහින දකින්නේ ඒ පිළිබඳවය. ‘‘මමත් ඉගෙන ගත්තෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. අම්මා තාත්තා යාපනේ අය වුණාට මම කවදාවත් එහෙ ජීවත් වුණේ නෑ. මොකද තාත්තා රස්සාව කෙරුවේ වෙන පළාත්වල නිසා. හැබැයි නිතරම පාසල් නිවාඩුවට යාපනයේ ගියා. පසුව මමත් ඉංජිනේරුවෙක් විදියට අධ්‍යාපනය ලබලා ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ කළා. ඊට පස්සේ නයිජීරියාවට ගිහින් ජලය සම්බන්ධ සමාගමක සේවය කළා. එතැනින් එංගලන්තයට ගිහින් ජල කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක සමාගමක වැඩ කළා. ඒ වගේම බෲනායිවලත් මම සේවය කර තිබෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ අවුරුදු 15 කට විතර කලින් එංගලන්තය අතහැර ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල පදිංචියට ආවා. මොකද එංගලන්තේ හීතල වැඩියි.’’ ඉංජිනේරු තිරු අරුමුගම් සිය වසරක 82 දීර්ඝ ජීවිතය වාක්‍ය කීපයකට සාරාංශ කර දක්වයි. එම දිවියෙන් වැඩි ප්‍රමාණයක් ගත කර තිබුණේ ශ්‍රී ලංකාවෙන් පිටතය. ‘‘හැබැයි මම නිතර ලංකාවට ආවා ගියා. ඒත් යුදමය වාතාවරණය නිසා ලංකාවේ කටයුතුවලට වැඩිය සහභාගි වෙන්න ලැබුණේ නෑ. නමුත් මම විවිධ දේවල් ගැන අධ්‍යයනය කළා. මේ වෙද්දී යාපනයට ගඟක් ව්‍යාපෘතිය අමතක වෙලාම ගිහින් තිබුණේ. හැබැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එක ඉංජිනේරු මහත්තයෙක් හිටියා ඩී.එල්.ඕ. මෙන්ඩිස් කියලා. ඒ මහත්තයා වගේ අය කීප දෙනෙක් පමණක් මේ ගැන දැනගෙන හිටියා. ඒ වගේම මේ මහත්තයා යාපනයේ භූගත ජල මට්ටම වැඩිකරලා ජනතාව මුහුණපාල තියෙන ජල ප්‍රශ්නය විසඳන්න තියෙන හොඳම විසඳුම මේක බව විශ්වාස කෙරුවා. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී හිටියා. නමුත් අවුරුදු 30 ක යුද්ධයත් එක්ක සියල්ල අමතකවෙලා ගියා.’’ වර්ෂ 2009 දී 30 අවුරුදු යුද්ධය අවසන් වී නැවත උතුරු නැගෙනහිර පළාත් ලෝකයට විවෘත විය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ බහුතරයක් දෙමළ නායකයින් දේශපාලන විසඳුම් හමුදා කඳවුරු හා හමුදාව උතුරින් ඉවත් කිරීම වැනි හේතූන් සම්බන්ධයෙන් අරගල කරනු අපි දුටුවෙමු. එහෙත් ඔවුන් උතුරේ ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බවක් දකුණේ අප දුටුවාද යන්න මට මතක නැත. පුද්ගලිකව මා දෙමළ දේශපාලන පක්ෂවල මාධ්‍ය හමු ගණනාවකට සහභාගි වී ඇත. එසේම උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල ජනහමුවලට සහභාගි වී ඇත්තෙමි. බොහෝ දෙමළ දේශපාලනඥයන් හමු වී කතාබහ කර ඇත්තෙමි. මම සේවය කළ පුවත්පත් සඳහා සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇත්තෙමි. මගේ පුද්ගලික අත්දැකීමද එයමය. ඔවුන් කිසි කෙනකුගෙන් මට යාපනයට ගඟක් ව්‍යාපෘතිය ගැන අසන්නට ලැබී නැත. ඒ ඔවුන්ට යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳ කතා කිරීමට වඩා දේශපාලන විසඳුම් හා දෙමළ ජනතාව දකුණට එරෙහිව පොලඹවන දේශපාලන සටන් පාඨ සමග දේශපාලනය කිරීම වාසිදායක නිසා බව මට දැන් හොඳින්ම තහවුරුය. මා ඉදිරිපිට සිටින තිරු අරුමුගම් වැනි යාපනයට හැබෑවටම ආදරය කරන මහත්වරුන් සමග සාකච්ඡා කිරීමේ දී දෙමළ දේශපාලනඥයන්ගේ හැසිරීමේ යථාර්ථය වඩාත් තහවුරු වෙයි. නුවන් ගන්කන්ද
 

More News..