brand logo

යහපාලන කාලයේදී ශ්‍රී ලන්කන් බිලියන 115ක් පාඩු කරලා

31 December 2019

යහපාලන ආණ්ඩු කාලසීමාවේ රුපියල් බිලියන එකසිය පහළොවක පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිදුකර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. 2015දී බලයට පත්වූ මෙම ආණ්ඩුව විදේශීය සමාගමකට රුපියල් මිලියන 80ක මුදලක් වැයකර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකිණීමේ සැලැස්මක් සකස් කර තිබූ බවත් එහිදී යෝජනා කර තිබුණේ සමාගම කොටස් කර විකුණා දැමීමට බවත් ඔහු පවසා සිටියේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30 වැනිදා) ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අතරවාරයේ මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී වැඩදුරටත් අදහස් දක්වා සිටි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙලෙසද පවසා සිටියේය. ‘‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ තිබුණේ රුපියල් බිලියන 76ක පාඩුවක්. මේ කාලයේ රටේ තිබුණේ යුදමය වාතාවරණයක්. ඉන්ධන ගාස්තු පවා ඉහළ ගොස් තිබුණේ. නමුත් රට සංවර්ධනය කරන්න වෙනසක් කරන්න කියලා බලයට පැමිණි යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු පහේදී කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පාඩු පිට පාඩු ලබල දුන්න එක. පසුගිය අතීතය පිළිබඳව ඇත්තටම දැන් කතා කරලා වැඩක් නැහැ. මම පොරොන්දු වෙන්නේ නැහැ අපේ ආණ්ඩුවට පුළුවන් කියලා සම්පූර්ණයෙන්ම මේ පාඩු නවත්තලා දාන්න. අපි උත්සාහ කරනවා අපේ අවුරුදු පහක කාලය ඇතුළත පුළුවන් තරම් ලාභ ලබන්න අලාභ නොලබන්න. ඉදිරියේදී දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතයට අධි සුඛෝපභෝගී ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් (VIP KIT) ‍ගෙන්වලා තියනවා කියලා පසුගිය ආණ්ඩුව විශාල බොරු ප්‍රචාරයක් ගෙනිච්චා. ඒ කාලයේදී ලබාගත් ගුවන් යානා 07ක් වෙනුවෙන් AIR BUS සමාගම තමයි ඒ කට්ටලය නොමිලයේ ලබාදුන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවක සංඛ්‍යාව 7000කට ආසන්නයි. ඊට අමතරව 800කට ආසන්න පිරිසක් සේවා සැපයුම්කරුවන් මගින් බඳවාගෙන තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සියලුම සේවකයන්ට ඔවුන්ගේ සේවය සුරක්ෂිත කරලා තෘප්තිමත්ව වැඩ කරන්න පුළුවන් වටපිටාවක් ඇති කරලා දෙන්න. අශිකා ජයවීර
 

More News..