brand logo

යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරුන් හතක් ළඟදීම ජනාධිපති කොමිසමට

22 June 2019

යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු හා වර්තමාන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ සිටින ප්‍රබල ඇමැතිවරුන් පස් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම ජනාධිපති කොමිසමට කැඳවීමට නියමිත බව වාර්තා වේ. යහපාලන ආණ්ඩුව 2015 බලයට පත් වූ පසු 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රජයේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම ඇරඹූ පැමිණිලි දහයක පමණ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ. එසේ සාක්ෂි සටහන් කර ගෙන පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති පැමිණිලි සඳහා එවකට එම අමාත්‍යාංශවල ඇමැතිවරුන් ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන්, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය යන අය කොමිසමට කැඳවීමට නියමිතය. මේ වනවිට අවස්ථා දෙකකදී ඇමැති අකිල විරාජ් කාරියවසම්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇතත් ඔහු නොපැමිණීම නිසා සිතාසි නිකුත් කර ඇති බව කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ඒ අනුව අසාදු ලේඛන ගත කළ ඔස්ට්‍රේලියානු සමාගමකින් කිරි හරක් විසි දහසක් ආනයනය කර ගොවීන්ට ලබාදීම සහ එම කිරි ගවයින් මිය යාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එවකට ග්‍රාමීය කටයුතු ඇමැතිවරයාව සිටි පී. හැරිසන් කොමිසමට ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීමට නියමිත බව වාර්තා වේ. මන්නාරමේ ඉඩම් අක්කර තුන්දහසක් ව්‍යාජ ඔප්පු සකසා සිය පවුලේ ඥාතීන්ගේ සමාගම්වලට ලබාදීම හා ආනයනික සහල් මෙට්‍රික් ටොන් අනූදහසක් සත්ත්ව ආහාර ලෙස අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 2700ක වංචාවක් සිදු කළ බව කියන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් කොමිසමට කැඳවීමට නියමිතය. පිළිකා රෝගීන්ට ලබාදෙන ‘‘හෙලපින්’’ නමැති ඖෂධ කාරකය වැඩි මිලකට රුසියාවෙන් ආනයනය කිරීමත්, විධිමත් පවරා ගැනීමකින් තොරව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජ්‍ය මුදල් වියදම් කිරීමත් මගින් වසර එක හමාරකට රුපියල් මිලියන 3600ක් රාජ්‍ය ආදායමට අහිමි වීමේ චෝදනාව මත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද කොමිසමට කැඳවීමට සැලසුම් කර ඇත. සුරක්ෂා රක්ෂණය, උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම, නිල ඇඳුම් වව්චර් ලබාදීම හා පෙළපොත් ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පැමිණිලිවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොමිසමට කැඳවීමට දැනටමත් තීරණය කර තිබේ. මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයින් පනස්හය දෙනකු හා සම්බන්ධීකරණ නිලධාරීන් අනූ හතර දෙනකු බඳවා ගැනීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එවකට අමාත්‍යාංශයේ ඇමැතිවරයාව සිටි ලක්ෂ්මන් කිරිඇල්ල හා ඔහුගේ දියණිය කොමිසමට කැඳවීමට සැලසුම් කර ඇත. මීට අමතරව රජයේ තක්සේරුව වූ මාසිකව රුපියල් මිලියන 13.5ක් ඉක්මවා මසකට රුපියල් මිලියන 21.5ක් ගෙවා රාජගිරිය ප්‍රදේශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට 2015දී ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම සඳහා කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි දුමින්ද දිසානායක කොමිසමට කැඳවීමට නියමිත බව වාර්තා වේ. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමති රංජිත් සියඹලාපිටියද එම කොමිසමට කැඳවීමට සැලසුම් කර ඇත. චමින්ද සේනාරත්න
 

More News..