brand logo

යහපාලන ආණ්ඩුවේ ඇමැතිකමක් ගැනීම මගේ වැරදි තීන්දුවක් - අනුර ප්‍රියදර්ශන යාපා

07 January 2019

මොකක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබෙන අර්බුදය? අර්බුදයේ මුල පටන් ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමත් මහින්ද රාජපක්ෂ සන්ධානයේ අපේක්ෂකයා වීමත් සමග. සන්ධාන අපේක්ෂකයා පරාජය වීමත් සමග මේ අර්බුදය තීව්‍ර වුණා. මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය භාරදුන්නට පස්සේ පසු ගිය මහමැතිවරණය වනතුරු අපි එකට වැඩ කළා. ඒ වෙලාවේ අප අතර එකඟතාවක් තිබුණා ජාතික ලැයිස්තුව කිසියම් ක්‍රමවේදයකට බෙදාගන්න ඕනේ කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඒ වෙලාවේ ඉඳලා පටන් ගත් බල අරගලය අපි පක්ෂ 2ක් බවට පත් වෙන තුරුම උඩු දිව්වා. තවත් කාරණාවක් වුණේ අවුරුදු 2කට එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවකට එක්වීමට මධ්‍යම කාරක සභාව තීරණය කළාම ඒකටත් එකඟ නොවී තවත් කණ්ඩායමක් පැත්තකට වුණා. පසුගිය පළාත් පාලන ඡන්දය දක්වාම මේ බෙදීම උග්‍ර ලෙස තිබුණා. ඒ අතරතුර මමත් සුසිල් ප්‍රේමජයන්තවත් ලේකම් තනතුරුවලින් ඉවත් කළා. ඊළඟට පත්වුණ අය මේ කණ්ඩායම් අතර කිසිම එකඟතාවක් ඇති කරන්න උත්සාහ කළේ නැහැ. අපි ආණ්ඩුව ඇතුළේ හිටියත් මේ කණ්ඩායම් අතර තිබෙන විරසකය ඉවත් කරන්න බොහෝ වෙහෙස ගත්තා. නමුත් ඒ සඳහාවත් ඒ නිලධාරී මණ්ඩලයේ සහයෝගයක් ලැබුණෙ නැහැ. මෙහෙම තමයි පක්ෂය ඇතුළේ කණ්ඩායම් හැදිලා අර්බුද පටන් ගත්තේ.  මේ අර්බුද සමනය වන තත්ත්වයක් දැන් පේනවා. මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂගේ එකමුතුව තුළ තව බොහෝ දේ ඉදිරියට සිදුවේවි. පක්ෂයේ සියලු දෙනා එකමුතු වී එය සන්ධානයක් දක්වා ගෙන යන්නේ කොහොමද කියලා මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් කොටස් කීයකට කැඩිලද? අවංකවම කතා කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් තිබෙන බව පේනවා. එක් කණ්ඩායමකට අවශ්‍ය වෙලා තියෙනවා රජයට එකතු වී ඇමැති ධුර ගන්න. තවත් කණ්ඩායමක් කියනවා විරුද්ධ පක්ෂයේ ඉඳලා පක්ෂය ගොඩනගමු කියලා. මේ කණ්ඩායම් දෙකේ ප්‍රබල කවුද දුබල කවුද කියන්න මම දන්නේ නැහැ. මම දරන මතය තමයි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරගන්න ඉඩ සලස්වලා ප්‍රධාන විපක්ෂය බවට අපි පත්විය යුතු බව. ඔබත් පොහොට්ටුවේ සාමාජිකයෙක්ද? ඇත්තටම අපි පක්ෂ 2ක් බව පෙනුණත් එකම ධාරාවක කොටස්කරුවන්. අපි කවුරුවත් එකිනෙකා සමග තරග කිරීමක් දැන් නැහැ. මේ ප්‍රශ්නය එළියට ආවේ සුමන්තිරන් සහ කිරිඇල්ලගේ ප්‍රශ්නයක් විදිහට. කවුරුන් හෝ පක්ෂයක සාමාජිකයෙක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ පක්ෂය තුළ තිබෙන අභ්‍යන්තර නීතිය අනුව. මේකට පිටස්තර අය කොච්චර තර්ක ඉදිරිපත් කළත් ඒවා අදාළ වෙන්නේ නැහැ. අපි අතර ගැටුමක් නැති තැනක වෙන කවුරුත් ඒක ප්‍රශ්නයක් ඇති කරගත යුතු නැහැ. කොහේ හිටියත් එකම ධාරාවක තමයි අපි ඉන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ආපහු එළියට ඇවිත් ඇය පක්ෂය තුළ තීරණාත්මක සාධකයක් නේද? ඇයගේ භූමිකාව ගැන මම කියන්න දන්නේ නැහැ. ඇය පක්ෂයේ හිටපු නායිකාවක්. එතුමිය අපේ පක්ෂයෙන් දෙවරක් ජනාධිපති තනතුරට පත් වූ අයෙක්. මම දැක්කා එතුමිය කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට යන්නෙත් නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නෙත් නැහැ කියලා. ඊට එහා එතුමිය කරන කාරණා ගැන මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ ඉන්න සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට පරස්පරතා ඉවත් කරලා එකම තැනකට ගොනුවෙන්න පුළුවන් නම් ඒක පක්ෂයටත් රටටත් හොඳ දෙයක් වේවි කියලා.   මම ඒක දැනගත්තෙත් පහුවෙලා. ඒක නිවාඩු කාලය නිසා සිදුවුණු දෙයක් වෙන්නැති. මේ වෙනකොට පක්ෂ මූලස්ථානය විවෘත කරලා තියෙනවා. පක්ෂයේ සභාපති විදියට ජනාධිපතිතුමාත් පක්ෂ කාර්යාලයට ගිය බවත් මම දන්නවා. ඒක ප්‍රශ්නයක් කරගත යුතු තරමේ දෙයක් නොවේ. මූලස්ථානයේ වැඩකටයුතු සාමාන්‍ය අයුරින් සිදුවෙනවා. 2015 යහපාලන ආණ්ඩුවේදී ඔබත් ඇමැතිකම් ගත්තා. එදා ඔබගත් ස්ථාවරය ගැන අද හිතෙන්නේ මොකක්ද? ඒ ගැන මට තියෙන්නේ මිශ්‍ර අදහසක්. පක්ෂයේ මධ්‍යම කාරක සභාව එදා ආණ්ඩුවට එක්වීමට තීරණය කළා. ඒ වගේම එක දේශපාලන පක්ෂයකට ආණ්ඩු කරන්න බැරි තත්ත්වයක් ඒ වන විට රටේ තිබුණේ. මේ අවස්ථාවේදී එක ධාරාවක ප්‍රධානියා වුණේ රනිල්. අනිත් ධාරාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සහ අගමැති වශයෙන්. ඒ අවස්ථාවේ මතයක් ගොඩනැගුණා ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙළක් අපට මේ දෙදෙනාගේ නායකත්වයෙන් ගොඩනගන්න පුළුවන් වේවි කියලා. ඒ අදහස මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්වුණේ. නමුත් ඒ විදියට කරුණු සිද්ධ වුණේ නැහැ කියලා තමයි මගේ අදහස. ජාතික වශයෙන් වැදගත් තීන්දු කිසිවකට එකතු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ සඳහා හැම වේලාවකම අසාර්ථකත්වය තමයි මතුවුණේ. පැහැදිලි නිශ්චිත ක්‍රමවේදයක් ඒ ආණ්ඩුව තුළ තිබුණේ නැහැ. අවුරුදු 2ක් වෙනකොට මට තේරුණු දේ තමයි එක්සත් ජාතික පක්ෂය ඒ ගොල්ලන්ගේ ගමන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පස්සෙන් යනවා කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ එක්සත් ජාතික පක්ෂයට ඒගොල්ලන්ගේ ගමන යන්න ඉඩ දෙන්න කියලා. නමුත් ඒක සාක්ෂාත් වුණේ හුඟ කාලයකට පස්සේ. හැම අවස්ථාවකම පක්ෂය කිව්වේ ඉවසන්න කියලා. අපට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති එක්ක නිතරම ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ නිසා එදාගත් තීන්දුව ගැන මම අද තෘප්තිමත් නැහැ. ඒක වැරදි තීන්දුවක් කියලා අද මට හිතෙනවා. බලාපොරොත්තු වුණු කිසිවක් ඒ කාලය තුළ සිදුවුණේ නැහැ. කෙටිකාලීන අරමුණු වෙනුවෙන් එකතු වුණත් ඒවා ඉටු කරගන්නවත් කාටවත් වුවමනාවක් තිබුණෙත් නැහැ. 2015 ඡන්ද සටනේදී මහින්දට අගමැතිකම නොදෙන බව කිව්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පහුවෙනිදාම වහල දැම්මා. ඇයි එහෙම කළේ? ඒ කතාව මම කියන්නම්. ඒ වෙලාවේ අපි එකඟතාවක් ඇති කර ගෙන තිබුණා මහින්ද රාජපක්ෂට නාමයෝජනා දෙන්නත්, අනිකුත් අපේක්ෂකයින්ගේ නාමයෝජනා දීමේදී කමිටුවක් හැටියට වැඩ කරන්නත්. ඒ වගේම ජයග්‍රහණයෙන් පස්සේ පක්ෂයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයාට අගමැතිකම දෙන්නත්. මහින්ද රාජපක්ෂ ගැන මේ වෙලාවේ විශේෂයෙන් කතා කළේ නැහැ. ජනාධිපතිතුමා ඒ වෙලාවේ මේ තීරණ තුනටම එකඟ වුණා. හැබැයි ඒ එකඟතාව අපි ප්‍රසිද්ධ කළේ නැහැ. ජනාධිපති යම් යම් තැන්වල මහින්ද රාජපක්ෂ අගමැති කරන්නේ නැහැ කියලා කිව්වත් ඒ එකඟතාව අපි කිහිප දෙනෙක් දැනගෙන හිටියා. ඒ නිසා අපට විශ්වාසයක් තිබුණා බහුතරය අපි ගත්තා නම් මහින්ද රාජපක්ෂට වැඩිදෙනාගේ කැමැත්ත ලැබෙන බවට. පක්ෂය පැරණි තැනට ගෙනයෑම අපේ බලාපොරොත්තුව වුණා. පුද්ගලික ප්‍රශ්න අපට තිබුණේ නැහැ. නමුත් ඒක වැරදුණේ ඡන්දයට ඉස්සෙල්ලා එකපාරටම ලේකම්වරු විදිහට හිටපු මාවත් සුසිල් ප්‍රේමජයන්තවත් දින 3කට කලින් තහනම් කිරීමත් සමග. අදටත් එහෙම වුණේ ඇයි කියලා දන්නේ නැහැ. ඒකට මුල් වුණේ කවුරුන්ද කියන්නවත් දන්නේ නැහැ. ඊට පස්සේ ජාතික ලැයිස්තුව ගැන තිබුණු එකඟතාවන් අත්තනෝමතික ලෙස කඩ කළා. දෙපාර්ශ්වයම ජාතික ලැයිස්තුව බෙදාගැනීමට තීරණය කරලා තිබුණත් තනිකරම එය එක පාර්ශ්වයක් අතට ගියා. එදා ඉඳලම ඇතිවුණේ විරසකයක්. ඒකේ වගකීම අපිට ගන්න බැහැ. ඒ වෙනකොට අලුත් ලේකම්වරු ඇවිත් හිටියා. ඒ වගකීම තිබුණේ ඒ අයට. හුඟක් වෙලාවට දේශපාලනයේ එකමුතුභාවයන් ඇතිවෙන්නේ වේදිකාවේ හෝ විවෘතව නොවේ. දේශපාලන එකඟතා ඇතිවෙන්නේ ඉතාම රහසිගතව වෙනත් තැන්වල. ඒ අංශය එකඟතාව මමත් සුසිල් ප්‍රේමජයන්තත් ඇති කරගෙන තිබුණා. අපෙන් පස්සේ ඒ එකඟතා ගැන කවුරුත් දැනගෙන හිටියේවත් නැහැ. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කළ විට එයට විරුද්ධව පක්ෂයේම අය නොයෙකුත් ප්‍රකාශ කළා. ඔබ දේශපාලනයට බබෙක් ලෙස ඇතැමුන් කිව්වා. ? දේශපාලනයේදී පක්ෂය තුළ හෝ පක්ෂයෙන් පිට හැමදාම කාටවත් හොඳ අහන්න බැහැ. මම දැනගෙන සිටි විදිහට අතිමහත් බහුතරය ඒ තීරණයට එකඟ වුණා. සමහරු එකඟ නොවෙන්න ඇති. නමුත් මට මගේ රාජකාරිය බබෙක් වුණත් උපරිමයෙන් ඉටු කරන්න පුළුවන් වුණා. බබාවත් ඕන කෙනකුට නළවන්න පුළුවන්. ඒ වෙලාවේ අපි මැතිවරණයට ඉදිරිපත් වීම ම අපි ලැබූ විශාල ජයක්. ඒ වෙනකොට මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා. ඔහු මහින්ද රාජපක්ෂට එරෙහි වූ අපේක්ෂකයා. මහින්ද රාජපක්ෂ පරාජය වූ අපේක්ෂකයා. මේ වගේ වෙලාවක අපිට එකමුතුව ඡන්දය ඉල්ලීමට ලැබීම ජයග්‍රහණයක් නොවෙයිද? ඒ ජයග්‍රහණයේ සතුට මට තියෙනවා. අපි තනතුරු අරගෙන නිකම්ම නිකං ඉඳලා නැහැ. පාර්ශ්වයන් වෙන් කරන්න වැඩ කරන අද වගේ කාලේ දිහා බලනකොට අපිට පේනවා අපි එදා කළේ පාර්ශ්වයන් එකතු කරන්න වැඩ කිරීම කියලා. මගේ බබා කමින් ඒ වැඩය කරලා දුන්නා. ඊට පස්සේ වුණු දේවල් ගැන අපිට වගකියන්න බැහැ. ඔබව මහ ලේකම් තනතුරින් ඉවත් කරලා ඉතාම ආධුනිකයෙක් පත් කළේ. එහෙම වුණේ ඇයි? ඇත්ත වශයෙන්ම පක්ෂයේ සභාපතිවරයකුට තමන්ට හිතවත් විශ්වාසවන්ත කෙනක් ලේකම්වරයකු කරගැනීම අවශ්‍ය කාරණයක්. ඒ පිළිබඳ මගේ කිසිම තර්කයක් නැහැ. මට තියෙන ප්‍රශ්නය මේ අය විසින් අපි ගොඩනගාගෙන හදපු එකමුතුභාවය දුරස් කරලා ඒ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට පත්වීම. අපි ඒකත් කිව්වා. ඒ මොහොතේ අපි බලකළා. පක්ෂ දෙක අතර එකමුතුවක් ඇති කර ගැනීමට එක ලැයිස්තුවක් යටතේ තරග කිරීමට. අපිට කියන්න විතරයි පුළුවන්. ක්‍රියාවට නැංවිය යුත්තේ වෙනත් අය. අපි ලේකම්වරු විදිහට ඉඳිද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයේදී ආසන 95කට ගෙනාවා. ලක්ෂ 58ක් ඡන්ද ගත්තා. ඊළඟ මැතිවරණයේදී සිද්ධ වුණේ පක්ෂය දෙකඩ කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15කට බැසීම. ඒක තමයි ඒ වෙලාවේ සිදුවුණු වැරදීම. වර්තමානයේ සහ අතීතයේ ඔබේ දේශපාලන භූමිකාව දෙස බලනකොට පරස්පර තත්ත්වයක් පෙන්නුම් කරනවා. එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි නේද? මම කවදත් එකම තීරණයක ඉඳලා තියෙනවා. එදා පක්ෂය විසින් අපට දීපු තීරණයකට අනුව වැඩ කිරීමයි සිදු වුණේ. පක්ෂය විසින් භාරදුන් කාර්යයකදී අපි පක්ෂයට සහාය ලබාදුන්නා. ඒ සහාය දීමේදී මහජනයා අපට විවේචන එල්ල කළා. එතකොට හිතුවේ අපි එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න යනවා කියලා. පක්ෂය එවැනි තැනකට තල්ලු වීම ගැන බහුතරයේ තිබුණේ නොකැමැත්තක්. ඒක තමයි ඇත්ත වුණේ. ලෝකයේ වෙනත් රටවල මේ වගේ එකඟතා ඇති වෙලා රජයයන් කරගෙන යනවා. ලංකාව වගේ රටක ඒක කරන්න හරි අමාරුයි. අපි එකතුවුණු ක්‍රියාවලිය අසාර්ථක එකක් වුණා කියන්නේ ඒ නිසයි. ඒකෙන් කාටවත් යහපතක් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් තමන්ගේ පාක්ෂිකයෝ නැතිවුණා. අපේ පක්ෂයටත් පාක්ෂිකයෝ නැතිවුණා. අපට තිබුණේ යම් නිශ්චිත කාරණා කිහිපයකට හෝ එකඟතාවකට එන්න. ඒත් ඒක එහෙම වුණේ නැහැ. මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට යමක් සිදු වුණෙත් නැහැ. ඒ නිසා මගේ දේශපාලනයේ කිසිම පරස්පර තත්ත්වයක් ඇතිවුණා කියන්න බැහැ. ඔබ මුලින්ම මහින්ද පාර්ශ්වය නියෝජනය කළේ. ඒත් හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරනකොට මත්තල වී ගබඩා කරන කොට නිහඬව හිටියා ඇත්තටම අපි ඒකට කැමැති වුණේ නැහැ. නිහඬව හිටියෙත් නැහැ. අපි හැදුණු වැඩුණු පිළිගත්ත සම්ප්‍රදාය අනුව අපට එළියේ කෑගහන්නත් බැහැ. අපිට ඒක පුරුදු නැහැ. මේ ප්‍රශ්නය කැබිනට් එකේදී අපි කතා කළා. අරයගේ මෙයාගේ වැරදි කිය කිය රූපවාහිනි ඉස්සරහා සහ පත්තරවලට කිය කිය ගියෙත් නැහැ. අපි විශාල වශයෙන් අපේ විරෝධතාව ඉදිරිපත් කළා. පොදුවේ බලනකොට ඕනෑම රජයේ ආයතනයක් පෞද්ගලික ව්‍යවසායකයෙක් එක්ක එකතු වෙලා දියුණු කරනවට අපේ විරුද්ධත්වයක් නැහැ. වරද්ද ගන්න එපා අපේ තර්කය. අපි කොහොමත් ආචීර්ණ කල්පිත මතවල ඉන්න අය නෙවෙයි. අපේ පක්ෂයත් එහෙමයි. මේ සම්පත මුළුමනින්ම පවරණවට අපි විරුද්ධ වුණා. ඒ නිසා තමයි අපට පුළුවන් වුණේ හුඟක් වෙනස්කම් ඇති කරගන්න. ලංකාවේ සමාගමක් හැදුවා. ඒ වගේම ඒක කිසිම යුදමය කටයුත්තකට යොදාගන්න බැහැ කියලා එකඟතාවක් ඇති කර ගත්තා. මේ වගේ කාරණා කැබිනට් එක ඇතුළේ ඇති කරගත් දැවැන්ත සටන් හරහා අපි කරගත්තා. ලෝකයේ ශක්තිමත් රටවල් එක්ක එකඟතා ඇති කර ගැනීමට අපි විරුද්ධ නැහැ. නමුත් ඒක රටේ යහපතට සිදුවිය යුතුයි කියන මතය තමයි අපට තියෙන්නේ. මේ වෙනස්කම් කරගන්න කෑගහන්න ඕනේ තත්ත්වයක් ඇති වෙලා තිබුණෙත් නැහැ. සාකච්ඡා තුළින් ඒ දේ කරගන්න පුළුවන් වුණා. මාස ගණනක් ඒ සාකච්ඡා ඇති වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවෘත ආර්ථිකයකට එකඟ අය නොවෙයි. වහලා තියෙන ආර්ථිකයක් අපට වැඩක් නැහැ. එය ලෝකයට විවෘත කිරීමයි අපේ පරමාර්ථය. ඒත් අපි ඒ රටවලට යටත්විය යුතු නැහැ. නිදහසින් පස්සේ බලයට ආපු ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ සහ මේ සියලු දෙනාම එකම වැදගත් කරුණක් තේරුම් අරගෙන හිටියා, මේ රටේ ස්වාධීනත්වය ඇති කරන්න නම් ආර්ථික සමෘද්ධිය ඇති කර ගත යුතුම බවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පොහොට්ටුවට ගිය බව රහසක් නොවෙයි. ඒත් දැන් ඔවුන් වෙනත් රඟපෑමක් කරනවා. ඒක විහිළුවක් නේද? ඒක විහිළුවක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ප්‍රශ්න තිබුණු වෙලාවක පිරිසක් විසින් මේ පොහොට්ටු පක්ෂය හැදුවා. හැබැයි මතක තියාගන්න ඒ වෙලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. විනය සම්බන්ධ තීන්දු ගැනීම පක්ෂයක අභ්‍යන්තර ක්‍රියාවලියක්. කෙනකුට කියන්න බැහැ ඔයා මෙහෙම කරපු නිසා පක්ෂයේ නැහැ.අරම කරපු නිසා පක්ෂයේ නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම මන්ත්‍රීවරයෙක්ගේම පඩියෙන් ඔවුන්ගේ සාමාජික මුදල් තවමත් කැපෙනවා. මේ පක්ෂ දෙකම මම මුලින් කිව්වා වගේ සමාන ධාරාවන් දෙකක්. සමාන ධාරාවන් එකිනෙකා සමග රණ්ඩු කරගන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නයෙන් අපි සතුරන්ට ප්‍රයෝජනය ගන්න දෙන්නෙත් නැහැ. ඒක අපි අභ්‍යන්තරය තුළ කළමනාකරණය කර ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නැවත ආණ්ඩුවට එක්වීමේ සූදානමක් තියෙනවා. ඔබත් එතැන ඉන්නවද? මට කවුරුත් එන්න කිව්වෙත් නැහැ. මගේ එහෙම අදහසකුත් නැහැ. මගේ දේශපාලන ධාරාව තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවක් තුළ. එක්සත් ජාතික පක්ෂය ධනවාදී අර්ථ නිරූපනය ලබන පක්ෂයක්. කවුරුත් සමග පුද්ගලිකව අමනාප නැහැ. ප්‍රතිපත්තිමය ලෙස මට එක්සත් ජාතික පක්ෂය සමග ගැටලු තියෙනවා. ආණ්ඩුව සමග ඉන්නකොටත් මට සමහර දේවල් ගැන ප්‍රශ්න තිබුණා. මම එතකොටත් ඒ ගැන කතා කළා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. හිතට එකඟව දේශපාලනය කරන්න පුළුවන් තාක් කල් කරනවා. බැරිනම් මම ගෙදර යනවා. බොහෝම සරලයි. දීප්ති ප්‍රමිතා අධිකාරී
 

More News..