brand logo

මරණීය දණ්ඩනයට විරුද්ධ සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට

01 August 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි. මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්තී‍්‍ර දූෂණ, බරපතළ අපරාධ සියල්ල පිටුපස තිබෙන්නේ මත්ද්‍රව්‍ය වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට තීරණය කළේ මතු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ඌව පළාත් ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (01) පෙරවරුවේ බණ්ඩාරවෙල නගරශාලා ශ‍්‍රවණාගාරයේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ දියුණු රටක් යනු භෞතික සම්පතින් පමණක් සංවර්ධනය වූ රටක් නොව විනයවත් සහ ගුණවත් මිනිසුන් ජීවත්වන යහපත් රටක් බවයි. අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් යහපත් මිනිසුන් ජීවත්වන රටක් ගොඩනැගීමට මහා සංඝරත්නය අතීතයේ සිට ඉටු කළ මෙහෙවර මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ සුම්බුද්ධශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම ඉටුකරනවා සේම මහා සංඝරත්නය පෝෂණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වගකීම ඉටුකිරීමට ද රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කැපවී සිටින බවයි. ආදර්ශවත් පැවිදි දිවියේ වසර 47ක් සපුරා ඇති පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වියත් ලේඛකයෙකු ද වන අතර බෞද්ධ දර්ශනය පිළිබ`ද කෘති ප‍්‍රකාශයට පත් කොට තිබේ. විහාරස්ථාන හතරක අධිපතිත්වය දරමින් සුවිශේෂි ආගමික සහ සමාජයීය මෙහෙවරක නිරත වන උන්වහන්සේගේ කාර්යභාරය අගමින් මෙම නව ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා තිබේ. අභිනව නායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
 

More News..