brand logo

යශෝධරා විහංගා ලෝකේ හොඳම යාළුවෝ දෙන්නා

06 March 2021

හංසනී යශෝධරා දුව ඉගෙන ගත්තේ ගාල්ලේ රිපන් බාලිකා විදුහලේය. ඇගේ ගෙදර තිබුණේ ඉස්කෝලේ කිට්ටුව තලේගාන ගමේය. යශෝධරා දුවගේ හොඳම යාළුවා විශ්මි විහංගාය. ඇයගේ ගෙදරත් තිබුණේ රිපන් බාලිකාව පෙනෙන තෙක් මානයේ පිහිටි සපුමල් පෙදෙසේය. කොරෝනාව නිසා මේ යාළුවන් දෙන්නාට බොහෝ කාලයක් ඉස්කෝලේ යන්නට බැරි විය. කොරෝනා පළමු රැල්ල මෙන් නොව දෙවැනි රැල්ල ගාල්ලට හොඳින් දැනුණි. ගාල්ලේ ඉස්කෝල හැත්තෑවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකසිය පනහකට කොරෝනා වැලඳුණි. මේ නිසා අම්මලා, තාත්තලා දරුවන් ඉස්කෝලේ යවන්නට මැළි විය. ඔවුන් ඉස්කෝලේ ගියත් අම්මලා, තාත්තලා සිටියේ දරුවන් ගැන මර බයේය. ඒ අතරේ ඉස්සරහා දොරින් කොරෝනා ගෙට රිංගද්දී පෑල දොරින් මුලින්ම පැන ගියේ මනුස්සකමය. කොරෝනා වැලඳුණ රෝගියෙක් නොව නිරෝධායනය අවසන් කර ගමට එන අයෙක් දුටුවත් සමහරු පැන ගියේ තමා ඉදිරියට මරාගෙන මැරෙන කොටියකු එනවා වාගේ බයෙනි. කොරෝනා නිසා වටේ පිටේ අයගෙන් ලද මදි පුංචිකම් ගැන සමහරු තවමත් කතා කරන්නේ වේදනාවෙනි. වටේ පිටේ අයගෙන් පමණක් නොවේ, කොරෝනා තදින් පැවැති කොළඹ රස්සා කරන ඥාතීන් තම ගෙවල්වලට එනවාට ඇතැම්හු අකමැති වූහ. පොලිසියට, පී.එච්.අයි. මහත්තුරුන්ට ඒ බව පැමිණිලි කළෝය. එහෙත් මේ අමනුස්සකම් යශෝධරාගේත්, විහංගාගේත් පුංචි හිත්වල ගෑවී තිබුණේ නැත. මේ දරුවන් නොව ඔවුන්ගේ දෙමාපියනුත් බොහෝ ගුණ යහපත් මිනිස්සුය. සැපතේදී මෙන්ම විපතේදීත් ඔවුහු එකට සිටියෝය. යශෝධරාත්, විහංගාත් රිපන් බාලිකාවේ බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකාවෝය. ඉන් ඔවුහු ජීවිතයට ගුණ යහපත් බොහෝ දේ ඉගෙන ගත්තෝය. මේ අතරේ විශ්මි විහංගා දියණියගේ මවට හදිසි සැත්කමක් කිරීම සඳහා ඇය ගාල්ල නගරයේ පෞද්ගලක රෝහලකට ඇතුළත් කිරීමට සිදුවිය. විශ්මි විහංගා දියණියගේ මවට සැත්කමට පෙර කළ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඈ කොරෝනා ආසාදිත බව හඳුනා ගත්තේය. මේ හේතුවෙන් විහංගාගේ පියාටද කළ පරීක්ෂණයේදී ඔහුද කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබුණි. මේ හේතුවෙන් රෝහලෙන් ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි. ඒ වෙලාවේ විහංගා දුවගේ දෙමාපියෝ ප්‍රශ්නයකට මුහුණ දුන්හ. තමන් ප්‍රතිකාර ගෙන යළි නිවසට එනතුරා දුව ඉන්නේ කොහේදැයි යන්නය. මේ සිද්ධිය දැනගත් යශෝධරා තමාට මිතුරිය නොමැතිව සිටිය නොහැකි බව පවසා තම නිවසට විහංගා කැන්දන් එන ලෙස සිය දෙමාපියන්ට කීවාය. යශෝධරාගේ අම්මා නදීශානි ජයවර්ධනය. (43) තාත්තා වසන්ත කළුහැන්නදිගේ (47) ය. ඔහු ගුරුවරයෙකි. මේ පවුලේ වැඩිමලා සඳගෝමි පුතාය. දහඅට වියැති ඔහුත් රිච්මන්ඩ් විදුහලේ සිසුවෙකි. දුවගේ ඉල්ලීම ගැන නදීශානිත්, වසන්තත් කල්පනා කළේ එක් දෙයකි. ‘එයත් අපේ දරුවෙක්නේ. දරුවෝ කවුරුත් එකයි. අපි එයාව අපේ ගෙදර ගෙනත් නතර කරගනිමු.’ වසන්ත කීවේය. ඒ අනුව විහංගාගේ දෙමාපියන් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරේ ඇය යශෝධරාගේ නිවසේ නතර විය. මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම නිවසත් නිරෝධායනයට ලක්විය. විහංග ඒ ගෙදර වෙනම කාමරයක නතරව සිටියාය. ඇගේ මිතුරිය යශෝධරා අම්මා හදන කෑම ඇයට දුන්නාය. පස් දවසකට පසු විහංගා දුව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ මොහොතේ හෙළිවුණේ ඇයටත් කොරෝනා වැලඳී ඇති බවය. ඒ ගැන යශෝධරාට දුකය. ඇගේ අම්මා, තාත්තාත් කලබල වූයේ නැත. ඔවුන් විහංගා දුව බලාගත්තේ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමිනි. විහංගා දුව ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යද්දී යළිත් වරක් යශෝධරාගේ ගෙදර නිරෝධායනයට ලක් විය. නියමිත දින ගෙවී ගිය පසු කළ පරීක්ෂණවලදී හෙළි වූයේ ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම රෝගය වැලඳී නැති බවය. මේ අතරේ විහංගා දුවගේ පවුලේ අයත් ප්‍රතිකාර ලබා නිවසට ආවෝය. මේ කතාව දැනගත් බොහෝ දෙනා කීවේ මේ ඉන්නේ ලෝකේ හොඳම යාළුවෝ දෙන්නයි, හොඳම අම්මයි, තාත්තයි කියාය. හංසනී යශෝධරා දියණිය කළ මේ උතුම් ක්‍රියාව අගය කරමින් ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේදී විශේෂ ඇගයීමේ උළෙලක් සංවිධානය කර තිබුණි. එහිදී ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා සංගමය මගින් වසරක් පුරා අවශ්‍ය සියලු පාසල් උපකරණ ඇයට පරිත්‍යාග කරනු ලැබුහ. දකුණු පළාත් හිටපු බාලදක්ෂිකා කොමසාරිස් චන්ද්‍රිකා මල්කාන්ති, විදුහල්පතිනි එම්. එස්. ආර්. අයිරාංගනී අතින් එම උපකරණ ඇයට පිරිනැමිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂක චිරන්ත ගුරුගේ ද ඇයගේ මේ උතුම් ක්‍රියාව අගය කරමින් විශේෂ ත්‍යාගයක් ඇයට පිරිනමනු ලැබීය. එච්. එම්. සමන් - අක්මීමන
 

More News..