brand logo

යල කන්නයේ එච් කලාපයේ කුඹුරු අක්කර හැටදාහක් පුරන් වෙලා

02 June 2019

යලකන්නය සඳහා බෝවතැන්නේ මහවැලි ජලය නිකුත් නොකිරීම නිසා මහවැලි එච්. කලාපයේ ගොවි පවුල් විසි පන්දහසක් පමණ දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. කලාවැව කේන්ද්‍ර කර ගනිමින් කලාවැව, ගල්නෑව, මීගලෑව, තඹුත්තේගම, තලාව, මහඉලුප්පල්ලම, නොච්චියාගම ආදී ප්‍ර‍දේශවල අක්කර හැට දහසකට (හෙක්ටයාර 2500ක්) වැඩි ගොවි බිම් ප්‍රමාණයක් පුරන් වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. පසුගිය මහකන්නයෙන් පසුව සැලකිය යුතු ආකාරයට මහවැලි ජලය කලාවැවට ලබා නොදුන් බවට ගොවීහු චෝදනා කරති. දැනට කලාවැව යටතේ ජල අක්කර අඩි 57,000ක් ඇති අතර පසුගිය මැයි 27 වැනි දින බෙත්ම ක්‍රමයක් යටතේ වගා බිමෙන් සියයට පනහක ගොඩ බෝග වගාවට ජලය නිකුත් කරන බවට මහවැලි බලධාරීන් පවසා ඇත. ඒ අනුව විජිතපුර, කලාවැව සොරොව්ව ආසන්නයේ ගොවීන් කන්නය ආරම්භයට කිරි උතුරවා සොරොව් විවෘත කර ඇතත් ඉහළෙන් පැමිණි නියෝගයක් මත පසුව සොරොව් වසා දමා තිබේ. ගොවීන් පවසන්නේ මහවැලි බලධාරීන් බෝවතැන්නේ ලෙන්දොර ඔස්සේ ජලය නිකුත් නොකර සුදු ගඟට ජලය යොමු කර ජල විදුලිය නිෂ්පාදනය කිරී‍මේ අරමුණෙන් මොරගහකන්ද ජලාශයට ජලය පුරවන බවයි. මේ වනවිට එම ජලාශයේ ජල අක්කර අඩි හාරලක්ෂ හැට පන්දහසක් ඇති බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..