brand logo

යල් පැන ගිය නීති වෙනස් කරනවා - ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස

02 February 2019

පුරා වසර 33 ක් නීතිඥ වෘත්තියේ නියැළෙන කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥවරයෙකි. නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙනුත් කටයුතු කරන හෙතෙම වසර ගණනාවක් පුරා රජයේ අධි නීතිඥවරයෙක් වශයෙන්ද, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා ද වශයෙන් කටයුතු කර ඇති කාලිංග ඉන්ද්‍රතිස්ස මෙවර එම සංගමයේ සභාපති තනතුර සඳහා තරග වදී. ඇයි ඔබ නීතිඥ සංගමයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වුණේ? අවුරුදු 33 ක මගේ වෘත්තීය ජීවිතයේදී මට අවස්ථාව ලැබුණා, නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරයෙක් වශයෙනුත් ඊට පස්සේ 1991 වසරේ සිට පුද්ගලික නීතිඥවරයකු වශයෙනුත්, ඊළඟට අවස්ථා ගණනාවකදී නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙනුත් රටපුරා අස්සක් මුල්ලක් නෑර තියෙන අධිකරණවල සංචාරය කරන්න. එතකොට මම දැක්කා, නීතිඥවරුන් වශයෙන් අපෙන් රටට විය යුතු සේවාව. ඒ වෘත්තීය මට්ටමින්. ඒ වගේම මම තේරුම් ගත්තා ඊළඟ පරම්පරාවට අපෙන් සිදුවිය යුතු යුතුකම් මොනවාද කියලා. මේ දේවල් වටහා ගන්න මගේ වෘත්තීය ජීවිතය පුරා ලැබූ අත්දැකීම් බොහෝ සෙයින් ඉවහල් වුණා. ක්ෂේත්‍ර 3 ක් ඔස්සේ නීතිඥ සංගමයේ කටයුතු මෙහෙය වීම මගේ බලාපොරොත්තුවයි. 1. මේ රටේ ජන ප්‍රජාවට විය යුතු සේවය වැඩිදියුණු කිරීම 2. දැනුම සහ පහසුකම් වැඩිදියුණු කරමින් වෘත්තීය මට්ටමින් සේවාදායකයාට ලබාදිය යුතු සේවය උපරිමයෙන් ලබාදීමට කටයුතු කිරීම 3. ලෝකයේ වෙනස්කම් එක්ක තාක්ෂණය දිනෙන් දිනම දියුණු වෙනවා. මේ තාක්ෂණය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගනිමින් අපත් ලෝකය සමග අත්වැල් බැඳගෙන ගමන් කරන පසුබිමක් ඇති කිරීම. ඔබ කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙක්. වැඩකරන්න තනතුරක් ඕනේමද? නැහැ. ඇත්ත වශයෙන්ම මම පසුගිය වසර 33 පුරාවටත්, නීති ක්ෂේත්‍රය තුළ බොහෝ වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වගේ මම පොත් 50 කට අධික ප්‍රමාණයක් ලියලා තියෙනවා. අද වුණත් ඕනෑම අධිකරණයක් තුළ මගේ එක පොතක් හෝ පරිශීලනය වෙනවා. මේ වගේ පසුබිමක මම වැඩ කරන්නේ. නමුත් ඕනෑම කටයුත්තක් ඉටුකිරීමට යම් නායකත්වයක් අවශ්‍යයි. දැනට තියෙන තත්ත්වය උසස් කිරීම වැනි තත්ත්වයන් ඇති කිරීමට හෝ ඒ වැඩ කටයුතු ඉටුකිරීමට අවශ්‍ය රාමුව සකස් කෙරෙන්නේ මේ නායකත්වය තුළිනුයි. මේ සඳහා යම් ආයතනගත වීමක් අවශ්‍යමයි. මෙය තනි තනි පුද්ගලයන් වශයෙන් කළ හැකි දෙයක් නෙවෙයි. පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී නීතිඥ සංගමයේ සභාපතිවරුන් දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. ඔබටත් එහෙම වෙයිද? දැනට නීතිඥවරුන් 21,000 ක් රටේ ඉන්නවා. අවුරුදු පතා මේ සංඛ්‍යාව දහසකින් පමණ වැඩි වෙනවා. තනි තනි පුද්ගලයන් විදිහට මේ අයට විවිධ මත දරන්න පුළුවන්. විවිධ දේශපාලන අරමුණු තියෙන්න පුළුවන්. මේවා තම තමන්ගේ පෞද්ගලික අරමුණු සහ මතයන්. සංගමයක් හැටියට කටයුතු කරද්දී මේ පෞද්ගලික අරමුණු ඉස්මතු කරගන්න බැහැ. පොදු තත්ත්වයක් තුළ සාමQහික අරමුණකින් වැඩ කළ යුතුයි. මම කිසිම විටෙක මගේ පෞද්ගලිකත්වය මෙහිදී ඉස්මතු කරන්නේ නැහැ. පොදු මතයට අැහුම්කන් දී කටයුතු කිරීමයි සංගමයක් ලෙස කළ යුත්තේ. එවිට ඔය වගේ පටු ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. නීතිඥ සංගමයේ සභාපතිවරයා විදිහට මා තෝරා පත් කරගත්තොත් ඒ සංගමය මට අයිති දෙයක් නෙවෙයි. එහි අයිතිය තියෙන්නේ සාමාජිකයන්ට. මට තියෙන්නේ තාවකාලික භාරකාරත්වයක් විතරයි. නීතිඥ සංගමය දේශපාලනීකරණය වූ සංගමයක්. ඔබත් මේ සංගමයට දේශපාලනය ඈඳා ගන්නවද? ඒක වැරදි කතාවක්. නීතිඥ සංගමය තුළ ඉන්නේ විවිධ දේශපාලන මත දරන පුද්ගලයන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නීතිඥ සංගමය දේශපාලනීකරණය වූ තැනක් කියලා. ඉතිහාසය දිහා බැලුවත් මේ තත්ත්වය හොඳින් වටහා ගන්න පුළුවන්. ආරම්භයේ ඉඳලා සංගමයේ සිටි පුද්ගලයන් ගැන සොයා බැලුවොත් මේ බව හොඳින්ම පෙනී යනවා. නීතිඥවරුන්ට අතීතයේ හිමිවුණු පිළිගැනීම බොහෝවිට දැන් සමාජය තුළ දකින්නට නැහැ. ඒ ඇයි? ඒකට එකඟ වෙන්න බැහැ. මීට අවුරුදු 30-40 කට ඉස්සර නීතිඥ වෘත්තියේ යෙදුණේ හාරපන්දහසක පිරිසක්. අද තත්ත්වය ඊට වඩා වෙනස්. ඉස්සර මේ වෘත්තිය බොහෝවිට අාවේ පරම්පරාවෙන් පරම්පරාවට. තාත්තාගෙන් පුතාට වගේ. 1980 දශකයේදී මේ තත්ත්වය වෙනස් වුණා. වෙනත් වෘත්තීය පසුබිම් හරහා විවිධ පිරිස් නීතිඥ වෘත්තියට එකතු වුණා. නගරයේ වුණත් පිට පළාත්වල වුණත් නීතිඥවරු කියන්නේ අභිමානයෙන් ජීවත්වන පිරිසක්. ඔවුන්ගෙන් සිදුවන සේවාව මහජනතාවට දැනෙන්නේ නැහැ. එය විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. ජනමාධ්‍ය තුළින් දෙයක් ජනතාවට උකහා ගන්න පුළුවන්. නීතිඥ වෘත්තිය හැංගුණු දෙයක්. එයින් ජනතාවට ගන්න දෙයක් නැහැ. නීතිඥවරයෙක්ගේ සාර්ථකත්වයට බොහෝවිට පොත් කියවීම, ලෝකයේ සිදුවුණු නඩුවල වාර්තා කියවීම, නඩු තීන්දු කියවීම වැනි දේ ඉවහල් වෙනවා. අද නීති ක්ෂේත්‍රය බොහෝ පුළුල් වෙලා. අතීතයේදී නීති උපාධිය දෙන්න මේ රටේ තිබුණේ ආයතන 3යි. නමුත් අද තවත් බොහෝ ආයතන ගණනාවකින් නීතිඥයන් බිහි වෙනවා. නීතිඥවරුන්ගෙනුත් තම සේවාදායකයන්ට අසාධාරණ සිදුවන අවස්ථා තිබෙනවා? ඔව්. ජනමාධ්‍යයෙන් ජනතාවට අසාධාරණ වෙන අවස්ථා තියෙනවා. වෛද්‍යවරුන්ගෙන් ජනතාවට අසාධාරණ සිදුවෙන අවස්ථා තියෙනවා. දේශපාලනඥයන්ගෙන්, පාලන තන්ත්‍රයෙන් මේ රටේ ජනතාවට අසාධාරණ සිදුවෙන අවස්ථා තියෙනවා. ඕනෑම වෘත්තියකදී අවස්ථාවක් එළඹෙන්න පුළුවන්, තමන්ට ලැබුණු සේවය ප්‍රමාණවත් නැති සාධාරණ නොවන බවට නිගමනය කෙරෙන. මේ තත්ත්වය නීති ක්ෂේත්‍රයට තදින් බලපානවා. පැමිණිල්ල දිනුවොත් විත්තිය අතෘප්තිමත්. විත්තිය දිනුවොත් පැමිණිල්ල අතෘප්තිමත්. මේක තමයි යථාර්ථය. දෙපැත්තට සංතුලනය කරන්න බැහැ. නීතිඥවරු උත්සාහ කරන්නේ තමන් ළඟට එන සේවාදායකයාව කෙසේ හෝ දිනවන්න. නමුත් වෘත්තීයමය අගතිය සම්බන්ධ කරුණු නම් මීට වඩා වෙනස්. නීතිඥවරු කියන්නේ මුදලටම වැඩකරන පිරිසක් බවයි සමාජ මතය. ලංකාවේ ඉන්න නීතිඥවරු 21,000 එකම මතයක ඉඳන් වැඩ කරන්න ගියොත් ප්‍රශ්න මතුවෙනවා. සේවය අවතක්සේරුවකට ලක්වෙනවා, එහෙම වුණොත් සේවාදායකයාටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. සමහර නීතිඥවරු ඉන්නවා යම් යම් ක්ෂේත්‍රවල උපරිමයට පත්වුණු. ඒගොල්ලන්ට අනිත් නීතිඥවරුන් සමග එකම ගාස්තුවකට වැඩ කරන්න බැහැනේ. උදාහරණයක් විදියට මම රුපියල් 5000 කට නඩුවකට පෙනී හිටියොත් මට නඩු ගොඩගැහිලා, මගේ වැඩ ටිකවත් හරිහැටි කරගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඒක මම අනික් නීතිඥවරුන්ටත් කරන අසාධාරණයක්. මේ තත්ත්වය ලංකාවේ විතරක් නෙවේ. අනිත් රටවලත් දකින්නට ලැබෙනවා. නීතිඥවරුන්ගේ ගාස්තු ලෝකයේ කිසිම රටක ලිඛිතව දක්වලා නැහැ. නීතිඥවරුන්ටත් සමහර අවස්ථාවල විනිසුරුවන්ගෙන් අසාධාරණය සිදු වෙනවා? අසාධාරණය කියන දේ හැම තැනම තියෙනවා. නමුත් වෘත්තීය කටයුතුවලදී ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. අපි උසාවියකට ගිහින් නඩුවකට තර්ක කරන විටදී අපි බලාපොරොත්තු වන්නේ විනිශ්චයකාරවරයා අපට සවන් දීමක් කරනවා කියන එක පමණයි. නඩු තීන්දුව ඒ පැත්තට හෝ මේ පැත්තට යන්න පුළුවන්. අපි උපරිම ශක්තිය යොදා සේවාදායකයා වෙනුවෙන් කටයුතු කරනවා. හැමවිටම තීන්දුව අපේ පැත්තටම බලාපොරොත්තු වෙන්න බැහැ. විනිශ්චයකාරවරයා ඉතා උතුම් කර්තව්‍යයක් කරන කෙනෙක්. ඔහුට දෙපැත්තටම සවන් දීමේ යුතුකමක් වගකීමක් සහ හැකියාවක් තිබිය යුතුයි. විනිශ්චයකාරවරයෙක්ගෙන් යම් අසාධාරණයක් වෙනවා නම් සිද්ධ වෙන්නේ ඔහුගේ පෞද්ගලික කාරණයක් මත යම්කිසි නීතිඥවරයෙක් පස්සේ හඹා ගොස් පහර දෙනවා නම් විතරයි. මගේ වෘත්තීය ජීවිතය තුළ දී නම් කිසිම අවස්ථාවක එහෙම තත්ත්වයකට මුහුණ දීලා නැහැ. මේකේ දෙපැත්තක් තියෙනවා. විනිශ්චයකාරවරයාත් තමන්ගේ වගකීම තේරුම් ගන්න ඕනේ. නීතිඥවරයාත්, තමන්ගේ වගකීම සහ යුතුකම තේරුම් ගන්න ඕනේ. ජනතාවට නීතිය ගැන තියෙන විශ්වාසය බොහෝ සෙයින් බිඳවැටිලා? පසුගියදා සිදුවුණු දේශපාලන සිද්ධියේ දී මාස එකහමාරක් තුළ හැම දෙනාම විවිධ මත ප්‍රකාශ කළා. හැම දෙනාටම මතයක් දැරීමේ අයිතියක් තිබුණත් නොදන්නා දෙයක් ගැන මතයක් ප්‍රකාශ කිරීම හරිම භයානක දෙයක්. තමන් ප්‍රකාශ කරන මතය ගැන තමන්ට මුලින්ම විශ්වාසයක් තිබිය යුතුයි. තමන් කරන ප්‍රකාශය තුළින් ජන සමාජය තුළ කුමක් සිදුවිය හැකිද යන්න සොයා බලන්න ඕනේ. එහෙම නැතිව කරන ප්‍රකාශ නිසා මෙය නීතිය ගැන, ජනතාවට විශ්වාසයක් නැතිව යන්නේ. මේ තත්ත්වයේදී නීතිඥවරුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වැඩි වගකීමක් තියෙනවා. හරිහැටි සොයා නොබලා කරන ප්‍රකාශ තුළින් සමාජයට විශාල අවැඩක් සිදු වෙනවා වගේම ජනතාවට නීතිය ගැන තියෙන විශ්වාසයත් බිඳ වැටෙන්න හේතු වෙනවා. වර්තමාන නීති ක්ෂේත්‍රය ගැන ඔබට තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? අපේ රටේ තියෙන්නේ සුවිශේෂී නීති ක්‍රමයක්. 1796 දී මේ රටේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසි ජාතිකයන් අල්ලා ගන්නා තෙක් රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වුණා. තේසවලමේ නීතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය ක්‍රියාත්මක වුණා. දැන් මේ නීතිවල සංකලනයක් තියෙන්නේ. ලෝකයේ වෙනත් රටවල මේ ක්‍රමය දකින්නට නැහැ. අපේ රටේ මේ ක්‍රමය හැම අවස්ථාවකදීම උපරිමාධිකරණය විසින් ආරක්ෂා කර තිබෙනවා. වර්තමානයේ තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි අනාගතයේ එන අභියෝගවලට එනම් පරිගණක අපරාධ, මුදල් විශුද්ධිකරණය, අන්තර්ජාල අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ රටවල් අතර සිදුවෙන්නා වූ ජාත්‍යන්තර අපරාධවලට මුහුණ දීමට සිදුවීම. මෙහිදී නීතිඥ සංගමයට වගකීමක් තියෙනවා ජන සමාජයට තර්ජනයක් වන දෙයක් වේ නම් එය මර්දනය කිරීමට පවතින රජයට අනුග්‍රහයක් දැක්වීමට. යල් පැන ගිය නීති පනත් අලුත් විය යුතුයි නේද? මුලින්ම මම බලාපොරොත්තු වෙනවා පවතින නීති සංශෝධනය කරන්න. අපරාධ නීතිය, සිවිල් නීතිය අරගෙන ඒ ගැන කමිටු 3 ක් ඔස්සේ විශ්ලේෂණය කරනවා. ජ්‍යෙෂ්ඨ මධ්‍යම සහ කනිෂ්ඨ නීතිඥවරුන් ඇතුළත් මේ කමිටු 3 ඔස්සේ කාල පරිච්ඡේද තුනක් නියෝජනය කෙරෙනවා. සංගමයට පමණක් එවැනි දෙයක් කරන්න බැහැ නේද? මම ඒ තත්ත්වය වෙනස් කරනවා. මෙතෙක් සිදු වුණේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ඕනෑම දෙයක් අපි පිළිගැනීමයි. අපි පිළිගත්තාම ඒක අධිකරණ ක්‍රමය පිළිගන්නවා. ඊට පස්සෙ ඒක තමයි මේ රටේ ජනතාවගේ නීතිය බවට පත්වන්නේ. මම ඉදිරියේදී එහෙම කරන්න දෙන්නේ නැහැ. අවශ්‍ය සංශෝධන මොනවද කියලා නීතිඥ සංගමය ඉදිරිපත් කරනවා ආණ්ඩුවට. ඔබ හිතනවද එය සාර්ථක වෙයි කියලා? අපි ඒක කරන්නේ ඉතාම විවෘතව. එතකොට අපි මහජනතාවත් දැනුවත් කරලා කිව්වොත් මේ නීති සංශෝධනය විය යුතුයි කියලා, ඒක කරන නොකරන එක දේශපාලන අධිකාරිය සතු දෙයක්. එතැනදී තමයි ප්‍රශ්නය මතු වන්නේ. අපි දැඩි මහජන මතයක් අැතිකරනවා මේ ප්‍රශ්නවලදී. නීතිඥවරුන් තමන්ගේ වෘත්තීයභාවය පිළිබඳ නොසැලකිලිමත් වන අවස්ථා දකින්න ලැබෙනවා? නීතිඥවරයෙක් හිතාමතාම වංචා සහගත දෙයක් කළොත් හොර ඔප්පුවක් ලිව්වොත් තවදුරටත් වෘත්තියේ තියා ගන්න බැහැ. හැබැයි නීතිඥවරයකුට වුණත් අතපසුවීමක් සිදුවෙන්න පුළුවන්. ඒ සඳහා සමාවක් දිය යුතුයි. අද පවතින ක්‍රමයේ ප්‍රශ්නය තමයි නීතිඥවරයකුට විරුද්ධව යම් පැමිණිල්ලක් ඉදිරිපත් වුණොත් ඒක විභාග කරන්න අවුරුද්දක් දෙකක් යනවා. එතකොට පැමිණිලිකාරයා නැතිවෙන්නත් පුළුවන්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නීතිඥවරයකුට විරුද්ධව ඉදිරිපත් වෙන ඕනෑම චෝදනාවක් මාස 3 ක් තුළ විභාග කරලා අවසන් කරන්න. ඒකෙන් කාරණා 2 ක් ඉෂ්ට වෙනවා. පැමිණිලිකාරයාට හෝ නීතිඥවරයාට චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්. දීප්ති ප්‍රමිතා අධිකාරි
 

More News..