brand logo

මොහොමඩ් සිද්ධික්ට ඇප

28 January 2019

හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළා. රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පනවනු ලැබුවා. ඇපකරුවන්ගෙන් එක් අයෙකු ළඟම ඥාතියකු විය යුතු බවට ද විනිසුරුවරයා නියම කළා. ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලීසියේ පෙනී සිටින ලෙසට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා. මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන අදාළව වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන මොහොමඩ් මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළා. 2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 1/2කට අධික කාලයක් මොහොමඞ් මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා රිමාන්ඩ් බාරයේ පසුවුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි ද ප්‍රකාශ කළා. දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළා. සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පෙනී සිටියා.
 

More News..