brand logo

මෛත්‍රී නීටා ප්‍රනාන්දුටත් පත්වීමක් දෙන්න හදයි

10 July 2019

කැබිනට් රැස්වීම අවසන් වූ වහාම ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වැනි තට්ටුවට ගිය ජනාධිපතිවරයාට, පෞද්ගලික ලේකම් ජනක රණවක සමග සිටි ‘එක්තරා කාන්තාවක්’ මුණගැසුනි. ‘රෝස පැහැති’ සාරියකින් සැරසී තමන් දෙස බලා සිටි මෙකී ‘සුන්දර කාන්තාව’ වෙත පැමිණි ජනාධිපතිවරයා, ‘‘අලුත් පත්වීමක් ද...? ඔබතුමිය කොහෙන් දැ...?’’ යි ඇසුවේය. එසේ අසන විට ‘එම කාන්තාව’ගේ ද, ජනාධිපතිවරයා අසල සිටි ජනක රණවක නමැති ලේකම්වරයාගේ ද, තවත් ටිකක් එහායින් සිටි කලාකරුවන් පිරිසකගේ ද ඇස් නළලට නැංවී තිබිණි. ජනාධිපතිවරයා ඇසූ ප්‍රශ්නය කන වැකුණු නිලධාරීන් කිහිපදෙනෙකුගේ නළල් තල ද රැලි ගැන්වුණි. මෙම සිදුවීමෙන් වඩාත් අපහසුතාවයකට පත්ව තිබුණේ, වෙන වැඩක් කරගැනීම වෙනුවෙන් එහි පැමිණ සිටි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය යි. ‘‘නැහැ සර්... මේ අර ජාත්‍යන්තර සම්මාන ලැබුණු ජ්‍යෙෂ්ඨ නිළිය...’’ ජනක රණවක නමැති ලේකම්වරයාට ‘ලජ්ජාවෙන් යුතුව’ නමුත් ඇයව හඳුන්වා දෙන්නට සිදුවිය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මෙසේ කීවේ ය. ‘‘ආ... එහෙම ද... ඒක තමයි මට දැකල පුරුදු කෙනෙක් වගේ දැනුනේ... මොකක් ද නම...?’’ සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිළිය වඩාත්ම අපහසුතාවයට පත් වූයේ ජනාධිපතිවරයා ‘නම’ විමසූ අවස්ථාවේ දී ය. ‘‘මම නීටා ප්‍රනාන්දු...’’ නිළියට තමන්ව හඳුන්වා දෙන්නට සිදු විය. ඉන් අනතුරුව ‘‘යමු යමු ඉක්මනට උපහාර වැඩෙත් ඉවර කරමු...’’ යි කියමින්, නීටා ප්‍රනාන්දු ඇතුළු ජාත්‍යන්තර සම්මානලාභී සෙසු කලාකරුවන් ද කැටුව ‘ශාලාවකට’ ගිය ජනාධිපතිවරයා ඔවුන් අගය කරමින් ‘වචන ස්වල්පයක් කතා කර’ මුදල් තිළිණ කිහිපයක් පිරිනැමීමට ද අමතක නොකළේ ය. ‘‘ජනාධිපතිතුමා පත්තර බැලුවට, ෆේස්බුක් ගියාට චිත්‍රපටි බලන බවක් නම් පේන්නෙ නෑ...’’ යි උත්සවයට සහභාගි වූ කලාකරුවන් අතර සිටි එක් අයෙක් පැවසුවේ, ‘ජනාධිපතිවරයා නීටා ප්‍රනාන්දු අඳුනා නොගැනීම’ සම්බන්ධයෙන් ‘මවිතය’ පළ කරමිනි.
 

More News..