brand logo

මෛත්‍රීට වැටුණ නඩුව

22 October 2018

සිය කීර්තිනාමයට සහ තමාට සිදුකළ මානසික හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රි ගුණරත්න මහතාගෙන් සහ පුද්ගලික සමාගමකින් අයකර දෙන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රි ගුණරත්න සහ එම පුද්ගලික සමාගම නම් කර ඇත. පැමිණිලිකාර වෛද්‍ය ජයතිස්ස මහතා කියා සිටින්නේ ඉකුත් ජුනි මස 09 වනදා පෙරවරු 6.30 ට පෞද්ගලික ගුවන්විදුලියක් ඔස්සේ වගඋත්තරකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ හඬ පටයක් ප්‍රචාරයක බවයි. ඒ තුළින් තමා දැඩි මතභේදයට තුඩු දී තිබෙන පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ අනුබද්ධ සමාගමකින් මුදල් ලබාගෙන ඇති බව වගඋත්තරකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් චෝදනා කර ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එය මුළුමනින්ම අසත්‍ය බව කියා සිටියේය. එම ප්‍රකාශය හරහා විත්තිකාර මෛත්‍රී ගුණරත්න මහතා තමා ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිරූපයක් ගොඩ නැංවීමට උත්සාහ කරන බව පැමිණිලිකාර ජයතිස්ස මහතා චෝදනා කරයි. මෙම ප්‍රකාශය තුළින් සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක වන්දියක් සහ තමාට සිදුවූ මානසික හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක වන්දියක් කරදෙන මෙන් ඉල්ලා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමෙන් සඳහන් කර තිබේ.
 

More News..