brand logo

මෛත්‍රි හදපු වකුගඩු රෝහල් අනුමැතිය නැහැ

07 October 2020

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන අනුරාධපුරයේ විවෘත කළ මෙත්සිරි සෙවණ වකුගඩු රෝහල් ගොඩනැගිල්ලේ සැලැස්ම හා එම ඉදිකිරීමට මහ නගර සභාවේ අනුමැතිය ලබාගෙන නැතැයි අනුරාධපුර නගරාධිපති එච්.ජී.සෝමදාස පවසයි. ඊයේ (6 වැනිදා) අනුරාධපුර මහ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා එසේ පැවැසීය. අනුරාධපුර නගරයේ බොහෝ ස්ථානවල විශේෂයෙන් නගරයේ ප්‍රධාන මාවත් අවහිර වන සේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳව මහ නගර සභාවේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මෙහිදී චෝදනා එල්ල කළහ. සියලු චෝදනා සඳහා පිළිතුරු සපයමින් නගරාධිපතිවරයා පැවසුවේ නගර සභාවෙන් අනුමත නොකළත් අනවසර ඉදිකිරීම් දිගටම සිදුවන බවයි. එය අනුරාධපුරයේ පමණක් නොව අද මුළු රටේම තිබෙන ගැටලුවක් බවද හෙතෙම කීය. ඒ සඳහා නරක පූර්වාදර්ශ රාශියක් අනුරාධපුර නගරයේ තිබෙන බවද ඔහු පැවැසීය. ඔහු ‘මෙත්සිරි සෙවණ’ රෝහල පිළිබඳ හෙළි කළේ එම අවස්ථාවේදීය. හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් බවත්, ඒ සඳහා අනුරාධපුර මහ නගර සභාවේ කිසිදු අනුමැතියක් ලබානොගත් බවත් උතුරුමැද ආණ්ඩුකාර හා මහ ඇමැති නිල නිවාස පිහිටා ඇත්තේද නුවරවැව වැව් රක්ෂිතයේ බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම ගැටලු පිළිබඳව නුදුරේදීම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නගරාධිපති සංසදය තීරණය කර ඇති බවද සඳහන් කළේය. කේ.එම්.එස්. කරුණාරත්න -අනුරාධපුර
 

More News..