brand logo

මෛත්‍රි පඬු කරඳ ගසට වඳී

15 February 2021

  දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටා තිබෙන වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කෘඩියා සෙලනිකා ශාකය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (14 වැනිදා) එහි ගියේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කෘඩියා සෙනිකා ශාකය ඉවත් කිරීමට සිදුවන බවට අනාවරණය වීමත් සමග පරිසරවේදීන් ඊට දැඩි විරෝධතාවයක් දක්වන ලදී. මේ හේතුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් මෙම ශාකය සාංඝික කිරීමටද කටයුතු කළේය. හිටපු ජනාධිපතිවරයා මෙම ශාකයට වැඳ සිය ගෞරවය දක්වා සිටියේය. මෙම ශාකය පවතින ස්ථානයේම තිබීම වැදගත් බවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. මෙම ගස සාංඝික කර තිබෙන ශාකයක් බවත්, එය පූජා වස්තුවක් ලෙස සලකා කටයුතු කළයුතුව ඇතැයිද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය. මෙම ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා තමා රජයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙම ශාකය පුරාවස්තුවක් ලෙස සලකා කටයුතු කළ යුතුව ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය. තමා ජනාධිපති ධුරය හොබවන ලද කාලයේදී මෙම අධිවේගී මාර්ගයේ මුල් සැලැසුමේ ගස මගහැර මාර්ගය ඉදිකිරීමේ ක්‍රමවේදයක් පැවැති බවත් ඔහු සඳහන් කළේය. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ සිය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මෙම ගස පිළිබඳව වාර්තාවක් හිටපු ජනාධිපතිවරයාට භාරදුන් බවය. සාලිය කුමාර ගුණසේකර
 

More News..