brand logo

මෛත්‍රිගේ පිබිදෙමු පොළොන්නරුව ඇනහිටී

25 December 2019

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සංකල්පයක් මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියක් වූ “පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය” අතරමග නවතා දැමීමෙන් හා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ සමාගම් සඳහා රුපියල් මිලියන 2300ක් නොගෙවීම නිසා පොළොන්නරුව යළිත් නටබුන් නගරයක් බවට පත්වීමේ අවදානමක් උදාවී ඇතැයි පොළොන්නරුව නාගරිකයෝ පෙන්වා දෙති. මේ නිසා තැන තැන අඩක් ඉදිකිරීම් කළ ගොඩනැගිලි, බාගෙට නිම කළ මහා මාර්ග, තහඩු ආවරණය කළ වැඩබිම් ආදියෙන් නගරය අවිධිමත් හා අපිළිවෙළ ස්ථානයක් බවට පත්ව ඇතැයි ද ඔවුහු කියති. අදාළ කොන්ත්‍රාත් සමාගම් හා ඉදිකිරීම් ආයතන විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් අතරමග නවතා දැමීමෙන් ඒවායෙහි සේවය කළ සේවකයන් හා ඉදිකිරීම් ද්‍රව්‍ය හා භාණ්ඩ සැපයූ පුද්ගලයින් හා ආයතන ද බරපතල පීඩාවට පත්ව සිටින බව ද ඔවුහු පවසති. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ ඉහළ නිලධාරියකුගෙන් අප කළ විමසුමක දී පැවසුවේ, මේ වන විට ව්‍යාපෘති කාර්යාලය වසා දමා ඇති බවත්, ඉතිරි ව තිබෙන වැඩ කටයුතු 2020 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන බවත් ය. කෙසේ වෙතත් මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදු කරමින් තිබූ ව්‍යාපෘතීන් කිහිපයක්ම එම කොන්ත්‍රාත් සමාගම් හා ආයතන වෙත රුපියල් මිලියන 2300කට අධික මුදලක් ගෙවා දැමීමට තිබීම නිසා එම සමාගම් හා ආයතන විසින් අතර මග නවතා දමා ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය. මේ පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක එස්.පී.අබේවර්ධනගෙන් ‘අරුණ’ කළ විමසුමකදී පැවසුවේ "පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ සංවර්ධන වැඩ කරගෙන යනවා. නමුත් ඉදිකිරීම් සමාගම් හා ආයතනවලට රුපියල් මිලියන 2300ක් පමණ ගෙවීමට තිබෙනවා. මේ මුදල් ගෙවීමට විදිහක් නෑ. දැනට මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබඳව වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. එතුමා සමග සාකච්ඡාවකුත් පැවැත්වුවා. එතුමා පොරොන්දු වුණා පොළොන්නරුවේ මේ කරගෙන ගිය සංවර්ධන වැඩවලට අදාළ ප්‍රතිපාදන ලබා දෙන්න. දැනට සමහර සංවර්ධන ව්‍යාපෘති නැවතිලා තියෙනවා. සමහර ඒවා ටික ටික වැඩ කරගෙන යන බවය. ප්‍රියන්ත බණ්ඩාර- පොළොන්නරුව
 

More News..